ගෝඨාභය
රජුගේ කණිටු පුත්‍රයා වූත්, ජෙට්ඨතිස්ස රජුගේ බාල සොහොයුරා වූත් මහසෙන් කුමරා ක්‍රි.ව.
276 දී අනුරාධපුර අග නගරය කරගෙන සිහසුනට පත්වෙන්නේ ඊට පෙර වසර 10 ක් රජකම් කළ
ජෙට්ඨතිස්ස රජතුමාගේ අභාවයෙන් පසුවයි.
මහසෙන් රජතුමා, මහාවංශයේ සඳහන් වන අවසාන
රජතුමායි. මහසෙන් රජතුමාගේ පුත්‍රයාගේ පටන් එනම් ක්‍රි.ව. 303 සිට තොරතුරු වාර්තා
වෙන්නේ චූලවංශයේයි. මහසෙන් රජතුමා ක්‍රි.ව.
276 සිට ක්‍රි.ව. 303 දක්වා වසර 27 ක් රජකම් කරනවා. ඒ වසර 27 තුළ මහසෙන් රජතුමා
කෙතරම් නරක හා කෙතරම් හොඳ රජෙක්ද යන්න ලොවටම පසක් කළා.
මහසෙන් රජු රාජ්‍යත්වයට පත්වීමත් සමග ඔහුගේ
ගුරුවරයාව සිට ඔහුට මහායාන අදහස් පොවා ථේරවාදය පිළිබඳව කළ කිරවූ සංඝමිත්ත භික්ෂුව
නැවත ලංකාවට පැමිණ, මහසෙන් රජතුමා සමග එකතු වෙනවා. මහසෙන් රජතුමාගේ ප්‍රධාන උපදේශක
බවට පත්වෙමින් තමන්ගේ පළිගැනීමේ චේතනාව මුදුන් පමුණූවාගන්න කල් බලන උන් වහන්සේට
රාජ සභාවේම සෝන නම් ඇමතිවරයාත් එකතු වෙනවා. ඒ අනුව සංඝමිත්ත භික්ෂුව ගේ හා සෝන
අමාත්‍යවරයගේ උපදෙස් හා මුළා කිරීම් මත මහසෙන් රජතුමා ථේරවාදී බුදු දහම විනාශ
කරනවා.
ඒ
අනුව මහසෙන් රජතුමා මහාවිහාර වාසී භික්ෂූන්ට දානය දීම රට වැසියන්ට තහනම් කරනවා. රට
වැසියන් ඒ කීම නොඅසන කළ දානය දුන්නොත් දඉ ගැසීමට නියම කරනවා. ජනතාව දඩ මුදල් ද
රැගෙන ගොස් මහා විහාරයට දානය පිළිගන්වනවා. අනතුරුව දානය දෙන අයගේ පා කපන බවටත්
මරාදමන බවටත් තර්ජනය කරනවා. අන්තිමේදී දින ගණන් දානය නොලැබීම නිසා මහා විහාර වාසී
භික්ෂූන් අනුරාධපුරය අතහැර දකුණට පළා යනවා. මිහින්තලේ වාසී භික්ෂූන්ටද සිදු වන්නේ
ඒ සිදුවීම මයි.
අනතුරුව සංඝමිත්ත භික්ෂුව හා සෝන ඇමතියාගේ
උපදෙස් මත මහාවිරයට අයත් දේපල මංකොල්ල කනවා. රටේ ප්‍රභූවරුන් හා ජනතාව පූජා කළ
අතිවිශාල වටිනා වස්තු සම්භාරයක් මහා විහාරය සතු වෙනවා. ඒ සියල්ල පමණක් නොව,
විනාශකර මංකොල්ල කන ලද දොර ජනෙල් උළුහවු පවා මහායානික විහාරස්ථාන ගොඩනැගීමට හා
අලංකරණයට භාවිතා කරනවා. දුටුගැමුණූ රජතුමා විසින් ඉදි කර මහාවිහාරයට පූජා කළ ලොව
පළමු මහල් ගොඩනැගිල්ල වන මහල් නවකින් සැසැදි ලෝවාමහාපාය විනාශ කොට බිමට සමතලා
කරනවා. අවසානයේ මහා විහාරය ලෙස හඳුන්වන මහමෙවුනා උයන නගුලින් හාරා උඳු වැවූ බවයි
ඉතිහාසයේ සඳහන් වන්නේ. (දේවානම් පිය තිස්ස රජතුමා මහා විහාරය සඳහා සීමා සලකුණු කලේ
රිදී නගුලකින් හෑරීමෙන් කියලයි කියවෙන්නේ.)
මේ ආකාරයෙන් ථේරවාදී බුදුසමය විනාශ කිරීමට
කටයුතු කිරීම නිසා මහසෙන් රජතුමා මහත් සේ ජනතාව අතර අප්‍රිය රජෙක් බවට පත්වුණා
විතරක් නෙවෙයි, ජනතාව ඔහුට විරුද්ධව අරගල කරන්නත් පෙළඹුනා. එයට නායකත්වය දැක්වූයේ
මහසෙන් රජුගේ රාජ සභාවේ මහඇමති වූ මේඝවර්ණ
අභය ඇමැතිවරයායි. ඔහු රජු
හා වැලි
කෙලියේ සිට
එකට සිටි, එලෙසම
රජු හා
එකට ශිල්ප
කළ රජුගේ කලණ මිතුරායි.
රට වැසියාගේ නැගී සිටීම මැඬලීමට රජුගේ සේනාව සියලු උපායන් යෙදුවා. මේඝවර්ණ අභය නායකත්වය දුන් ජනතා සේනාවද රජුගේ සේනාව හා මුහුණට මුහුණ මහා සටනට සැරසී සිටියා. අවසන් සටන සඳහා රජුගේ සේනාව තිසා වැවේ එක් පසකත්, මේඝවර්ණ අභයගේ රටවැසි කැරලිකාර සේනාව අනෙක් පසත් කඳවුරු බැඳ ලා ගත්තා. පසු දින උදැසන මහා යුද්ධයක්, ජන සංහාරයක් ඇති වීම සඳහා ඉතිරිව තිබුණේ එක් රාත්‍රියක් පමණයි.
රාත්‍රිය එළඹීමත් සමඟ තනිවම කඳවුරේ කල්පනා කරමින් සිටි මේඝවර්ණයන්ට සිහිපත් වූයේ තම ළමා කාලයයි. මහසෙන් කුමරු හා එකට කෙළිදෙලෙන් පසු වූ ආකාරයයි. එකට ආහාර පාන බෙදාගෙන කෑ, එකට ජල ක්‍රීඩා කළ ආකාරයයි. ඔහු හා මහසෙන් කුමරු අතර වූ කලණ මිතු දමයි. මේඝවර්ණ, මහසෙන් රජුගේ මහ ඇමැති වූයේ ද දෙදෙනා අතර වූ කලණ මිතු දම නිසාමයි.
මහසෙන් රජු පාප මිතුරෙකු ඇසුරට ගැනීම හේතු කොට ගෙන විනාශ වී ඇති ආකාරයත්, ඉන් රට ආගාධයට යන ආකාරයත්, එහි ප්‍රතිඵල වශයෙන් බුදු සසුනට වන විනාශයත් ගැන කල්පනා කරන මේඝවර්ණ ඇමතියා, අවසානයේදී තීරණයක් ගන්නවා. රජු කුඩා කාලයේදී ප්‍රිය කළ ආහාරයක් ද තනිවම පිළියෙළ කර ගන්නා මේඝවර්ණ, මහ රෑ තිනායම රජුගේ කඳවුරට යනවා.
තම කලණ මිතුරා වූවත්, හෙට දින යුද්ධයේ සතුරා වන මේඝවර්ණ දැකීමෙන් රජු මහත් විමතියට වගේම බියටත් පත් වෙනවා. එහෙත් මේඝවර්ණ පැමිණ ඇත්තේ නිරායුධවයි. කථාවෙන් තොරව එක එල්ලේ මේඝවර්ණයන් දෙස ඇස පිය නොහෙළා බලා සිටි රජුටත් තම ළමා කාලය සිහි වෙනවා. පැරණී ආ ගිය කථා සිහිපත් කර ඒ ගැන සුහද කථාවකින් පසු ඇමති ගෙන එන ලද රජු ප්‍රිය කළ ආහාරය දෙදෙනා කුඩා අවධියේ මෙන් සතුටින් බෙදා ගෙන කනවා. මෙයින් රජු මහත් කම්පාවට පත් පත් වෙනවා.
තමාට විරුද්ධව රටවැසියාගේ පෙරමුණ ගත්තේ මන්දැයි මෙහිදී මහසෙන් රජු විමසනවා. තමා හා රටවැසියා විරුද්ධ වූයේ මහසෙන්ට නොව, මහසෙන් විසින් බුදු සසුනට හා මහා සංඝයා වහන්සේට කරන ලද විනාශය තවදුරටත් බලා සිටිය නොහැකි නිසා බව රජුට, මේඝවර්ණයෝ පහැදිළි කළා. "මහ රජතුමනි, මහා විහාරය හා මිහින්තලා විහාරය යනු සිංහලයාගේ හදවතයි. ඊට වැඩි වටිනාකමකින් යුත් කිසිවක් සිංහලයාට මේ පොලෝතලය මත නැත. ඔබතුමා ඒ බව වටහා නොගැනීම, මේ ජනතා නැගීසිටීමට හේතුවයි. වෙනත් කිසි හේතුවක් අර්ථයක් මෙහි සැඟවී නැත."
අවසානයේදි රජුට තමා අත සිදු වූ මහා වරද, මහා පාපය සහ එහි එහි බරපතළකම වැටහෙනවා. විෂ දළ සිඳුණු රජතුමා ශෝකය දරාගත නොහැකිව මහ හඬින් හඬා වැටෙනවා. මේඝවර්ණයනට තම කලණ මිතු මහසෙන් කුමරු අස්වසාලීමට සැනසවීමට බොහෝ වේලාවක් ගත වෙනවා. මහා විහාරය ආශ්‍රිත සියලු වෙහෙර විහාර තිබූ පරිදි නැවත ගොඩනැංවීමටත්. මහා විහාර සංඝයා විෂයෙහි දන් නොදෙන ලෙසට පනවා තිබූ නීති ඉවත් කිරීමටත්, ගිනිබත් කළ සියලු ථේරවාදී බොදු ග්‍රන්ථ රාජ අනුග්‍රහයෙන් නැවත ලේඛනගත කරවීමටත් රජු පොරොන්දු වෙනවා. ඒ අනුව පහුවෙනිදා වෙන්නට ගියා මහා සංහාරයත් නවතිනවා.
මේ අතර රජුගේ බිසවක් විසින් වඩුවකුට
කොන්ත්‍රාත්තුවක් ලබා දීමෙන් මහසෙන් රජු වරදට පොළඹවාලූ සංඝමිත්ත භික්ෂුව ඝාතනය
කරනවා. රට වැසියන් විසින් සෝන ඇමතිවරයා ඝාතනය කරනවා.මෙයින් අර්බූදය බොහෝදුරට සමනව
වූ බවයි කියවෙන්නේ.
පාලන කාලයේ අග භාගය වන විට දැහැමි රජෙකු
බවට පත්වන මහාසන් රජු, වෙහෙර විහාර රාශියක් කරවනවා. එමෙන්ම මහා වාරිකර්මාන්ත 16 ක්
කරවා රට වැසියාගේ ආර්ථීක තත්වය දියුණූ කරනවා.
අදටත් දේවත්වයේ ලා සලකන එකම සිංහල රජතුමා
වන්නේ මහසෙන් පමණයි.
(3 වන
කොටසින් හමුවෙමු.)
(අන්තර්ජාලයේ
තොරතුරු හා මූලාශ්‍ර පදනම් කරගෙන සකස් කරන ලදි.)
No comments:
Post a Comment