2015-10-30

කුකුළුවා රජ මහා විහාරය


         
        සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම ලෙන් විහාරයක් වන කුකුළුවා රජ මහා විහාරය, අති දුෂ්කර ගමන් මාර්ගයක් නිමකර වනගත ප්‍රදේශ හරහා අඩිපාරවල් දිගේ ළගාවිය යුතු බෞද්ධ සිද්ධස්ථානයකි. නිරිඇලි කඳුවැටිය මුදුනේ කඳු ශිඛරයක මෙම ලෙන් විහාරය පිහිටියේය. මෙහි ප්‍රධාන ලෙන් දෙකක් දැකිය හැකි අතර, විශාල ලෙන විහාරය සඳහාද කුඩා ලෙන දේවාලය සඳහාද වෙන්වී ඇත. මෙම විහාරයේ සිට රත්නපුර පොත්ගුල් විහාරය දක්වා උමං මාර්ගයක් වෙතැයි ද ජනප්‍රවාදයේ සඳහන්ය.


       කුකුළුවා රජ මහා විහාරය පුරා විද්‍යා සමීක්ෂණයකට මෙතෙක් ලක්වී නොමැත. එහෙත් මෙහි ආරම්භය පිළිබඳව ප්‍රධා මත දෙකක් පවතී. පළමු වැන්න මෙය විදේශ ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට වන වැදී සිටි වට්ට ගාමිණී අභය (වලගම්බා) රජු මෙම ලෙන් වලද තුන් මාසයක් පමණ රැඳී සිටිය බවත්, පසුව විහාරස්ථානයක් බවට පත් කළ බවත්ය. දෙවැන්න, මෙය 1 වන රාජසිංහ (සීතාවක රාජසිංහ) රජ සමයේ ගණින්නාන්සේලා සැඟවී සිටි ස්ථානයක් බවය. සීතාවක රජු තමා අතින් පියා මැරුණු පාපයෙන් ගැලවීමට අරිට්ටකී වෙණ්ඩු සමග එක්වී බෞද්ධ විරෝධී කටයුතු වල යෙදීම නිසා, එකල ස්වාමීන් වහන්සේ  සීතාවක රාජධානියෙන් සැගවී ගියහ. රාජධානියට අයත් පාලන ප්‍රදේශයේ කෙළවර කඳු මුදුනේ පිහිටි මෙම ලෙන් වල ස්වාමීන් වහන්සේ වැඩ විසූහ.

 

       නිරීක්ෂණයට ලක්වන කරුණු අනුව මෙම දෙවන මතය සනාථ වන බව පවසන අතිපූජ්‍ය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ මෙම විහාරයේ ඉතිහාසය සීතාවක යුගයෙන් එහාට නොයන බව ප්‍රකාශ කරති. මෙහි ලෙන්වල කොටා ඇති කටාරම් පවා ඒ බව සනාථ කරන්නට කදිමට සාක්ෂි දරයි.

        1 වන රාජසිංහ රජු විසින් නිරිඇල්ලේ තිස්මදය නාරායන බ්‍රහ්මචාරී මුදියන්සේට ප්‍රදානය කළ නිරිඇලි නින්දගමේ දකුණු කෙළවරේ පිහිටි මෙම විහාරය කනත්තේ ලෙන් විහාරය ලෙසින් දක්වා ඇත. පැරණි රාජ්‍ය පරිපාලන කොට්ඨාශ ක්‍රමය අනුව මෙම කනත්තේ ලෙන් විහාරය දිගම්පොත කෝරළේට අයත් වෙයි. 

සඳකඩ පහණ
 
       කනත්තේ ලෙන් විහාරය, කුකුළුවා විහාරය වූයේ මෙසේය ‍:

         සිංහල අලුත් අවුරුදු උත්සවයක් මුල්වරට පවත්වා ඇත්තේ 1555 දී සීතාවක රජ සමයේදීය. මහනුවර රජ සමයේ සිංහල අලුත් අවුරුදු උත්සවයක් මුලින්ම පැවැත්වෙන්නේ 2 වන රාජසිංහ රජ දවස 1637 දී ය.

        කි‍්‍ර.ව. 1635 සිට 1687 දක්වා රාජ්‍යය කළ දෙවැනි රාජසිංහ රජතුමා හැඩිදැඩි සිරුරකින් යුත් කී‍්‍රඩාවලට මහත් ඇල්මක් දැක්වූ රජ කෙනෙකි. එතුමා මහත් ඇලුම් කළ කී‍්‍රඩාවක් වී ඇත්තේ කුකුළු පොර කෙටවීමයි. එනිසා කුකුළන් පොර කෙටවීමේ තරගයක් තබා ජය ගත් කුකුළා අයිතිකරුට ගම්වරයක් ප‍්‍රදානය කරන බව කියා කල් තබා රටවටා අණ බෙර කරවා ඇත.

         මහනුවර රජවාසල පැවැත්වුන එම කුකුළු පොර තරගයට සපරගමුවේ දිග්ගම්පත කෝරළයේ (වර්තමාන කලවාන ආසන්නයේ) අයගමට නුදුරු පරගල නමැති හද්දා පිටිසර ගමේ ගැමියෙක් සහභාගි වූයේය. කෝරාළ නම් වූ මෙම ගැමියා තරගය සඳහා ඔහුගේ හොඳ පළපුරුදු පොර කුකුළකු ද රැගෙනය. ඔහු සමඟ දහ අට දෙනකු එම තරගයට සහභාගි වී ඇත.

        පරගල - කෝරළගේ කුකුළා ඒ සියලුම කුකුළන් පරදවා ජයග‍්‍රහණය කළේය. (මෙම කුකුල් පොර කරුවා පරගල ගමේ දක්‍ෂ මන්තර කාර පරපුරකට අයත් බවත්, මොහු එම කුකුළු පොර තරගයේදී අනෙක් කුකුළන් දහඅට දෙනාම මරාදමා ඔහුගේ කුකුළා ජයග‍්‍රහණය කරවූයේ බලගතු මන්තරයකින් මතුරන ලද කහනූලක් පිටතට නොපෙනන අන්දමට තම කුකුළාගේ අත්තට්ටක පිහාටු අතර ගැටගසා තිබීමෙන් බවත්, මේ අනුව කුකුළා ආවේශව ප‍්‍රතිවාදී කුකුළන්ට පහර දීමෙන් ජය ලැබූ බවත් කියවේ.)

        මේ ගැන ඉතා සතුටට පත් රජතුමා ඔහුගේ කෝරාළයන නමේ මුලට පරගල විජේසුන්දර කුකුළු කෝරාළ යන රාජ දක්නය එක් කොට පරගලට නුදුරුව අක්කර හාරසියයක් පමණ විශාල වූ ගම්වරයක් ඔහුට ප‍්‍රදානය කර ඇත. කුකුළේගමයන නාමයෙන් අදත් හැඳින්වෙන්නේ එම ගම්වරයයි.

        දින කීපයකින් මෙම සිද්ධිය ප‍්‍රදේශය පුරා මහත් ප‍්‍රසිද්ධියට පත්විය. ඒ නිසා එතෙක් දිග්ගම්පත කෝරළය කියා ව්‍යවහාර වුණු කෝරළය - කුකුළු කෝරලය නමටත්, මෙම ප‍්‍රදේශය මැදින් ගලා ගිය දික්ඔය - කුකුළු ගඟ නමටත්, පරගලාගම ඉහත්තෙහි ගල උඩකන්දේ පිහිටා ඇති මුහුදු මට්ටමේ සිට හරියටම අඩි 3,000 ක් උසැති කුරුළුගල නමැති විශාල පර්වතය - කුකුළු ගල නමටත්, පරගලට නුදුරු පිඹුරේ පිහිටි මෙම කනත්තේ ගල්ලෙන් විහාරය - කුකුළුවා විහාරය නමටත් පරිවර්තනය වී ඇත.

 

        කුකුළු කෝරළය ඓතිහාසික සිංහරාජ වනය ඇතුළත් ගෙදගල කන්ද, නැගිරිකන්ද, මාන කන්ද, ගලඋඩ කන්ද, තපස්වර කන්ද , ඉළුඹකන්ද, ගවරගිරියේ මාතලේ ගල්ලෙනත් ඇතුළු ඉතා දැකුම්කළු සුවිශේෂි ස්ථාන රාශියක්ම පිහිටා ඇති වනගත ප‍්‍රදේශයකි.

        අතීතයේ කුකුළුවා විහාරයේ ගොදුරු ගම් වූයේ නිරිඇල්ල සහ උඩකන්ද ගමය. කුකුළු කෝරළය ජනාවාස වීමේදී නිරිඇලි කන්ද හරහා පැමිණි වේරගම ආරච්චි පරපුරේ ප්‍රථම නවාතැන උඩකන්ද ගම විය. උඩකන්ද කන්කානම නැමැති අයෙක් මොවුනට නායකතක්වය සැපයීය. විහාරය පාමුල වූ එම භූමියේ ඔවුන් සියවස් දෙකක් පමණ කාලයක් ගත කළ අතර, කිසියම් හේතුවක් නිසා ප්‍රදේශය ජනශුන්‍ය වී, වැසියෝ පිඹුර නැමැති ආසන්න ගමට පදිංචියට ගිය අතර, විහාරය කැලෑවට යටවී වවුලන්ගේ වාසභවනක් බවට පත් වීය.  මේ කාලයේ මෙහි තිබූ චිත්‍ර වවුලන්ගෙන් විනාශයට පත්විය.

        කුකුළුවා විහාරය ගැන නැවත අසන්නට ලැබෙන්නේ 1892 දී මෙහි සැතපෙන පිළිමය සොරුන් විසින් විනාශ කිරීමෙන් පසුවය. මෙහිදී පිළිමයේ හිසට පපුවට උරහිස් වලට වෙඩි තබා විනාශ කළ බව සඳහන්ය.

        මේ කාලය වන විට කුකුළු කෝරළය භාර රටේ මහත්තයා වූ දෙල්වල ලොකුබණ්ඩාර මහතා එවකට කලවාන තිලකරත්නාරාම විහාරාධිපති දැලිවල සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සැදැහැවතුන්ගේ ආධාරයෙන් කුකුළුවා විහාරය නැවත ප්‍රතිසංස්කරණය කෙරිණි. නැවත 1934 දී රත්නපුර සද්ධාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් කුඩා ලෙන තුළ දේවාලයක් හා භණ්ඨා කුළුනක් ඉදිකරන ලදි.

        කෙසේ වූවත් කුකුළුවා විහාරය තුළ අඛණ්ඩව සංඝාවාසයක් ඇති නොවූ නිසා අවුරුද්දේ  බොහෝ කාලයක් පවතින්නේ වනගතවය. විහාරයේ පියස්සක සවිකර තිබූ කුකුළු රුව පවා හොරුන් විසින් ගෙන යනු ලැබිණි. විහාරය නඩත්තු වන්නේ කලවාන තිලකරත්නාරාමය මගිනි. වෙසක් හා පොසොන් පෝය ට මෙහි දහස් ගණන් සැදැහැවත්හූ පැමිණෙති. ඒ කාලයට පැමිණෙන මග දායක සභාවේ හා ආසන්න ගම්වල සැදැහැවතුන් විසින් පිළිසකර කෙරේ.

        විහාරයට පැමිණීමට ප්‍රධාන වශයෙන් මාර්ග තුනක් පවතී. කලවාන සිට පැමිණෙන අයට රජ්ජුරුවත්ත හරහා සමන්පුරට පැමිණ මෙහි ආ හැකිය. උඩකන්ද හා පිඹුර හරහා ද මෙහි ආ හැකිය. අනෙක් මග නිරිඇල්ල වතුයාය පසුකොට පැමිණ නිරිඇලි කන්ද තරණය කර පැමිණීමයි. වෙසක් පොසොන් පොහොය දින වලට වැඩි සෙනගක් ඇදී එන්නේ මෙම නිරිඇලි කන්ද හරහා වැටී ඇති සැතපුම් දෙකක් පමණ වන වනගත මාර්ගය ඔස්සේය.

(අන්තර්ජාලයේ තොරතුරු හා මූලාශ්‍ර‍ මත පදනම්ව සකස් කරන ලදි.)
(ඡායාරූප අන්තර් ජාලයෙන්)

 




ගමන් මගේ අවස්ථාවක්
ප්‍රධාන ලෙන තුල - විහාරය


ගමන් මග






















































පියගැට පෙලක්
ඝණ්ඨා කුළුණ

No comments:

Post a Comment