2016-01-22

පිරමිඩාකාර ව්‍යාපාර



ගිරිහිම නිපාතය
එක පාරටම මොකද්ද කියලා හිතාගන්න බැරි වචනයක්.
--------------------------------------------------------------
අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල වගේම ශ්‍රී ලංකාවේත් තහනම් කළ වෙළද ක්‍රමයක් - පිරමිඩාකාර ගණුදෙනු. ( Multi level Marketing (MLM) කියලත් හඳුන්වනවා) නමුත් කලින් කලට විවිධ මුහුණුවර වලින් මේ කූට ව්‍යාපාර හට ගන්නවා. සමහර දේවල් එහෙම පිරමිඩාකාර ව්‍යාපාරයක් කියලා හිතන්නවත්අමාරුයි. නමුත් මේක පිරමිඩාකාර ව්‍යාපාරයක් කියලා දැනගන්න කොට, බොහෝ දෙනෙක් රැවටිලා - ජාවාරම්කරුවනුත් පැනගොස් හමාරයි. ඒ නිසා සැමවිටම මේ ව්‍යාපාර වල ස්වභාවය ගැන දැනුවත්ව සිටීම වැදගත්. 

පහත දැක්වෙන්නේ පිරමිඩාකාර ව්‍යාපාර ක්‍රියාත්මක වන අවස්ථා කීපයක්...

11.     එක් අවස්ථාවක ටිකට් පතක් අලෙවි කළා. ඔබ රු. 1 500 ක් දී ටිකට් පතත් මිලදී ගෙන ලියාබදිංචි වුණාම ඔබට තවත් එවැනි ටිකට් පත් 5 ක් ලැබෙනවා. ඔබ කළ යුතු වන්නේ එම ටිකට් පත් 5 මිතුරන් අතරේ අලෙවි කොට, (ලැබෙන 7 500 න්) රු. 6 000 ක් ආයතනයට යැවීමයි. ඉතිරි මුදල ඔබට. ඒ අනුව ඔබ දැන් කිසිවක් වියදම් කර නෑ. ඔබව ලකුණක් සමග පළමු පියවරට යනවා. ඔබෙන් ටිකට් මිලදී ගත් අය ඒ ආකාරයෙන් ටිකට් අලෙවි කළ විට ඔබ දෙවෙනි පියවරට යනවා. ඒ නිසා ඔබ යාලුවන්ටත් ටිකට් විකුණා ගන්න උදව් කළ යුතුයි. මේ ආකාරයට ඔබ 5 වන පියවර සම්පූර්ණ කළ විට ඔබට රු. ලක්ෂ දහයක බෝනස් එකක් ලැබෙනවා. 7 වන පියවර සම්පූර්ණ වුණාම තවත් ලක්ෂ 10ක්...! සතයක් වත් වියදම් නොකර.. !! නරකම නෑ...

මේක තහනම් කළාම භාණ්ඩ විකුණන්න පටන් ගත්තා.


22.    තව අවස්ථාවක ඔබ සමාගමෙන් රු. 20 000 කට ඔරලෝසුවක් මිලදී ගත යුතුයි. (ඒක වෙළඳ පොලේ රු. 2500 ක් විතර එකක්) ඉන් පසු ඔබ එවැනි ඔරලෝසු මිලදී ගැනීමට මිතුරන් සමාගම වෙත යොමු කළයුතුයි. ඔබ හඳුන්වා දෙන එක මිතුරෙකු වෙනුවෙන් ඔබට රු.  4 000 ක කොමිස් මුදලක් ලැබෙනවා. එවිට මිතුරන් 5 දෙනෙකු හඳුන්වා දීමෙන් ඔබට ඔරලෝසුව නොමිලේ. මිතුරනුත් එවැනි මිතුරන් හඳුන්වා දී ඔරලෝසු මිලදී ගත යුතුයි. බැලූ බැල්මට පුංචි බිස්නස් එකක්...

33.   දැන් වර්තමානයේ සමාගමක් අපට සුර්ය කෝෂ විකුණනවා. පෙන්වන්නේ දැවැන්ත සමාගමක් විදියටයි. සාමාන්‍ය වෙළඳ පොළේ රු. 20 000 ක් පමණ වන සූර්ය කෝෂයක් රු. 65 000 කට මිලදි ගන්න මුලින්ම ඔවුන් පොළඹවනවා. එතකොට මුලින්ම අපට නිවාඩුවක් ගතකිරීමට අවස්ථාවක්  සමාගම අපට සලසනවා. (නොමිලේ). පස්සෙ අපට තියෙන්නේ යාලුවන්ටත්මේ ගින්න දෙන එකයි.... අපේ වියදම මුලින්ම ෂේප් කරගන්න පුළුවන්... මිතුරෝ සූර්ය කෝෂ මිලදී ගන්න, මිලදී ගන්න... අපට බෝනසුත් ලැබෙනවා. 

4. හෙට දවසේ අපට මෙහෙම දැන්වීමක් දකින්න ලැබෙයි.


"අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !
රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම 
රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. 
වෙනත් ගෙවීම් නැත. 

ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිහින් රැ. 20 000 ක් දුන්නම,  අපිට ඒ ගොල්ලො අපට දෙන්නෙ ලැප්ටොප් එකක් නෙමෙයි, රැ. 20 000 බැගින් ටිකට් 4 ක්. අපි ඒ ටිකට් 4     රු. 20,000/-  ගානෙ අපේ යාළුවන්ට විකුනන්න ඕනෑ. විකුණල ඒ සල්ලි (80 000) අර කොම්පැනි එකට දුන්නම අපිට ලැප්ටොප් එක හම්බවෙනවා. ඇත්තටම අපිට වියදම් උනේ රු. 20,000/-යි. කථාව ඇත්ත. ඉතිරි 80 000 යාලුවෝ ගෙව්වා.


ඊට පස්සෙ අපෙන් ටිකට් ගත්තු යාළුවන්ට වෙනවා අර කොම්පැනි එකට ගිහින් තමන් මිලදී ගත්ත ටිකට් එක දෙන්න. එතකොට එයාලට හම්බ වෙනවා අලුත් ටිකට් 5 ක්. එයාලා ඒ 5 තවත් යාළුවෝ 5 දෙනෙකුට විකුනලා සල්ලි ගෙනත් දුන්නම එයාලටත් ලැප්ටොප් එකක් ගන්න පුළුවනි. .....
 
ඉතින් මෙතන කිසිම බොරුවක් නැහැ. හැමෝටම 20 000 ට ලැප්ටොප් එකක් ලැබෙනවා. සමාගමත් තමන්ගෙ ලැප්ටොත් පාඩුවක් නැතුව විකුණනවා.


නමුත් මේ සියල්ල පිරමිඩාකාර - කූට ව්‍යාපාර. 
මෙයාලා ඇමතිවරු, හමුදාපති, පොලිස්පති, මහබැංකු අධිපති  වගේ ඉහත තනතුරු දරණ අය විතරක් නෙවෙයි, ඔබාමා, මෝඩි වගේ ජාත්‍යන්තර නායකයනුත් තමන් සමග සිටින බව පෙන්වීමට සූක්ෂම ලෙස ගත් ඡායාරූප පවා භාවිතා කරනවා. ලියුම් පෙන්වනවා.
------------------------------------------------------------------------
කූට සමාගම් අපට ගෙන හැර පාන්නේ මෙහෙම තර්කයක්....       
                           
     ''…. ඔබ ටීවී එකක් මිලදී ගන්නවා. අපි හිතමු සිංගර් එකක් කියලා. ගෙදරට එන මිතුරෙක් ඕබේ ටීවී එක ගැන අහනකොට ඕබ කියනවා ඒක සිංගර්, ඒකේ මෙහෙම පහසුකම් තියෙනවා, නියමයි ... කියලා (ඔබේ ටීවී එක ඔබ කොහොමත් අගය කරනවානේ.) දැන් යාලුවටත් හිත වැටිලා සිංගර් ටීවී එකක් ගන්නවා. එතකොට සිංගර් සමාගමට ටීවී එකක් අලෙවි කර ගන්න අවස්ථාව උදාකළේ ඔබයි. ඒත් ඔබට සිංගර් සමාගමෙන් කිසිවක් ලැබෙන්නෙ නෑ... අපේ සමාගම එහෙම නෙවෙයි.. ඔබේ සේවයට අපි වටිනාකමක් දෙනවා.'' 
---------------------------------------------------------------------------------------------
අද සමාජයේ බොහෝ දෙනෙක් මේ වගේ මායාකාරී ගණුදෙනු වලට පැටලිලා ඉන්නවා. බැලූ බැල්මටම මේක වාසිදායකයි... 




නමුත් සංඛ්‍යා පිළිබඳව පොඩි දැනීමක් තියෙනව නම් මේ වගේ දේ වලින් බේරෙන්න අපට හැකියාව තියෙනවා....

සරල උදාහරණයක් ගනිමු.... කලින් ටිකට් විකිණීම ?
ඔබ 1 වෙනියා.
පළමු පියවරේදී - ඔබ මිතුරන් 5 දෙනෙකු සොයා ගත යුතුයි.
පළමු පියවර = 5 (5) දෙනයි.
දෙවන පියවරට, ඒ පස් දෙනා තව පස් දෙනා බැගින් සොයා ගත යුතුයි.
දෙවන පියවර =  5 X 5  = 52 (25)  දෙනයි.
ඒ විසි පස් දෙනා තව පස් දෙනා බැගින්....
තුන්වන වන පියවර = 5 X 5 X 5 = 53 (125) දෙනයි.
ඒ එකසිය විසිපස් පස් දෙනා තව පස් දෙනා බැගින්....
හතර වන පියවර = 5 X 5 X 5 X 5 = 54 (625)
ඒ හයසිය විසිපස් පස් දෙනා තව පස් දෙනා බැගින්....
පස් වන පියවර = 5 X 5 X 5 X 5 X 5 = 55 (3 125) 

(ඒ උදාහරණයේ මිතුරාට පස්වන පියවර සම්පූර්ණ වුණාම ලක්ෂ10 ක් දෙන්නේ ඇයි..?  ඒවන විට සමාගම 6 000 X  රු. 3 125 = රු. 1 87 50 000 උපයලා ! )

හයවන පියවර  = 56 (15 625)  
හත්වන පියවර  = 57 (78 125) 
අටවන පියවර  = 58 (3 90 625) 
නවවන පියවර  = 59 (19 53 125) 
දසවන පියවර  = 510 (97 65 625) 
එකොළොස්වන පියවර  = 511 (4 88 28 125)  හාර කෝටි අසූ අට ලක්ෂයකටත් වැඩියි.

ලංකාවේ ලොකු පොඩි ගෑණු පිරිමි සියලුදෙනා මේකට හවුල්කර ගත්තත්, පහේ බලවලින් යන මේ රටාවෙන්, එකොළොස්වන පියවර සම්පූර්ණ කර ගන්න බෑ. (ලංකාවේ ජනහනය කෝටි දෙකට චුට්ටක් වැඩියි.) තමන්ගේ ටිකට් පත් හෝ භාණ්ඩ විකුණා ගැනීමට නොහැකි වන දහස් - ලක්ෂ ගානක් සමාජයේ අතරමං වෙනවා.  මොකද, මේ වනවිට හැමෝම අරං... (දැන් සමාගම කියයි ලෝකෙම මේකට හවුල්කරගන්න පුළුවන් කියලා.... එක්කෙනා දෙපාරක් තුන්පාරක් ගනී කියලා... @#/* )

කාලෙකට පෙර රුසියාවේ සිදුවූ මේ වගේ ව්‍යාපාරයක ඛේදවාචකය, වයි. පෙරල්මාන් කියන රුසියානු ගණිතඥයාගේ, ග්‍රන්ථ රචකයා තමාගේ ගණිත විනෝදය නම් පොතෙන් සරළ ගණිතයානුකූලව පෙන්වා දෙනවා. මුළු රටක් බිලි ගන්න මේ වගේ සංඛ්‍යා රටාවකට, පෙරල්මාන්ගේ වචනයක් සිංහලට පරිවර්තනය කරන දැදිගම වි. රුද්‍රිගු, ‘‘ගිරිහිම නිපාතය“ කියන වචනය හඳුන්වා දෙනවා.

නමුත් අද අවාසනාවට සූර්ය කෝෂ ව්‍යාපරය කරන අය, එක්කෙනා 12 දෙනෙක් බිලිදිය යුතුයි.
එතකොට -
1       වන පියවර = 12
2       වන පියවර = 12 X 12  = 144
3       වනපියවර = 123  = 1 728
4       වන පියවර = 124  = 20 736
5       වන පියවර = 125    = 2 48 832
6       වන පියවර = 126 = 29 85 984
7       වන පියවර = 127 = 3 58 31 808

7 වන පියවර වනවිට ලංකාවේ හැම පුද්ගලයෙක්ම (පවුලක් ගෙයක් නෙවෙයි - හැම පුද්ගලයෙක්ම) සූර්ය කෝෂ අරං ඉවරයි.....

මිනිසුන් මේ ව්‍යාපාර වලට කොටු වෙන්නේ මේ වගේ සංඛ්‍යාමය අනතුරක් ඉදිරියේදී තිබෙන බව නොදන්නා නිසයි. 

අහු වෙන්න එපා...

දැනුවත් වෙන්න....

ගිරිහිම නිපාතයට බිලිවෙන්න එපා.

No comments:

Post a Comment