2016-02-04

ඉතිහාසය



අපි, අපේ ඉතිහාසය අධ්‍යයනය නොකළ ජාතියක් වෙමු.
අපි, අපේ ඉතිහාසය අමතක කළ ජාතියක් වෙමු.
අපි, අපේ ඉතිහාසය විකෘති කරගත් ජාතියක් වෙමු.


කටින් කට මුඛයෙන් මුඛය පවත්වා ගෙන විත් ඇසූ හැටියට සහ හිතේ හැටියට වහාවංශය ආදී ග්‍රන්ථ රචනා කළ මහානාම හිමියන් ඇතුළු වාර්තාකරුවන්ගේ තොරතුරු අනුව, 20 වන ශතවර්ෂයේ ආරම්භක අවධියේ පටන් (1912) සුද්දාට අවශ්‍ය ආකාරයට සංස්කරණය කළ හා පෙළගැස්වූ ඉතිහාසයකට උරුම කම් කියන අපි, ඉතිහාසයෙන් අත්දැකීම් ගනු වෙනුවට, ඉතිහාසය අත්හළ ලොව එකම ජාතිය වන්නෙමු. 

ඒ අනුව ලංකා ඉතිහාසය ක්‍රි.පූ. 545 - 1815 ලෙස පිළිගැනීමක් ඇති විය. ක්‍රි.පූ. 6 වන සියවසෙන් එහා කිසිවක් සිදුවී නැති පරිද්දෙනි.

කෙසේ වූවත්, 1971 කැරැල්ලෙන් පසුව, තරුණ නැගිටීම් හා අරගල වලට හේතුවක් ලෙස අධ්‍යාපනය ලබන විෂයන් වල ආර්ථික වටිනාකමක් නොතිබීම හඳුණාගන්නා ලදි. ගණිතය, විද්‍යාව ආදී විෂයන් ඉගෙනීමෙන් සිසුවාට තමාගේ අනාගත ආර්ථීක තත්වය යහපත් කර ගැනීමට අවස්ථාව සැලසේ. අනෙක් අතට ඉතිහාසය ප්‍රජාචාරය භාෂාව ආදී විෂයන් ඉගෙනීමෙන් ආර්ථීකමය වාසියක් අත්නොවන හෙයින් අරගල වලට පෙළඹේ. මේ විශිෂ්ට සොයා ගැනීම හේතුවෙන් 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය විෂය නිර්දේශයෙන් ඉවත් කෙරිණි. එයින් සිදුවූයේ සුද්දා සංස්කරණය කළ ඉතිහාසයද මැකීයාමය.  ඒ වෙනුවට ඉතිහාසයද භූගෝලයද ප්‍රජාචාරයද පුරවැසි අධ්‍යයනයද ආදී සියල්ල කැටිකොට සමාජ අධ්‍යයනය යන අච්චාරුව හඳුන්වා දෙන ලදි.

මේ අනුව, ඉතිහාස විෂය අධ්‍යාපනයෙන් සහ විෂය මාලාවෙන් ඉවත් කළ රටක් ලෙස අපි ඉතිහාස ගත වුනෙමු.


අවසානයේ 60 දශකයේ අග උපන් මා ඇතුලු 70, 80, 90 දශක වල උපන් පසු පරම්පරාවක්, ඉතිහාසය ඉගෙන නොගත් සහ ඉතිහාසය නොදත්  අවාසනාවන්තයින් රෑනක් ලෙස සමාජගත විය.

මේ පරම්පරාවට ඉතිහාසය නූගන්වන ලදින් ඉතිහාසය නොදන්නා ලදි. (දත්තේ සමාජ අධ්‍යයනය යටතේ උගත් කරුණු ස්වල්පයක් පමණි.)

අවාසනාව වූයේ, අප ඉතිහාසය නොදන්නා නිසා, ඉතිහාසය මේ යැයි පෙන්වන මුසාවන්ට අපේ හිසේ පවතින රික්තය ගොදුරු වීමයි. එනම්, අප නොදන්නා ඉතිහාසය යන හිඩැසට, විවිධ අවශ්‍යතා සහිත පාර්ශවයන් තමන්ට සරිලන සේ විකෘති කළ ඉතිහාසයක් රහසේ පැළපදියම් කිරීමයි.


මේ නිසා, දුටුගැමුණූ ගල් මූසලයෙකු සේ දකින, රුවන්වැලි සෑය පව් ගොඩක් සේ දකින, මද්දුම බණ්ඩාර මෝඩ කොලු පැටියෙකුසේ දකින, 1964 දී නිදහස ලැබුණා යැයි සිතන, සිංහලයා සිංහයෙක්ගෙන් ජාතක වීයැයි විශ්වාස කරන පරම්පරාවක් බිහිවිය.

ඒ එසේ සිතන්නවුන්ගේ වරද නොවේ.

ඒ අපේ පරම්පරාවට ඉතිහාසය නූගැන්වීමේ වරදයි.
ඉතිහාසයක් නැතිව - අනාගතයක් නැත.



(ඡායාරූප - අන්තර්ජාලයෙන්)

No comments:

Post a Comment