2015-12-02

විජිතපුර සටන - ( ක්‍රි.පූ. 161 )



   ශ්‍රී ලංකාවේ පැවති විශිෂ්ට හා තීරණාත්මක සංග්‍රාමයක් ලෙස විජිතපුර සටන සැලකිය හැකිය.  එය මෙයට වසර 2 175 කට පමණ පෙර අනුරාධපුරයට ආසන්න විජිතපුර නම් ස්ථානයේදී සිදුවූවකි. අනුරාධපුර රාජානිය යටත් කරගෙන වසර 44 ක් තිස්සේ රජකම් කළ එළාර නම් ද්‍රවිඩ රජුට එරෙහිව, දෙටු ගැමුණූ රජතුමා විසින් කළ යුද්ධයේ වැදගත්ම  අවස්ථාවක් වූයේ විජිතපුර සටනයි. 
දුටුගැමුණු රජතුමා

  විජිතපුර සටන -  ( ක්‍රි.පූ. 161 )

   ක්‍රි.පූ. 235 දී දකුණු ඉන්දියාවේ චෝල රාජ වංශයෙහි උපන් එළාර, ක්‍රි.පූ. 205 දී ශ්‍රී ලංකාවේ එවකට රජකළ අසේල නම් සිංහල රජු පරදා අනුරාධපුරය අගනුවර කරගෙන  එළාර රජ නමින් රජ වී වසර 44 ක් ලංකාව පාලනය කළේය. ඉතිහාසඥයන් සියලු දෙනාම පාහේ සාධාරණ හා ධර්මිෂ්ඨ රජෙකු ලෙස ඒකමතිකව පිළිගන්නා එළාර, හින්දු ආගමිකයෙකු (සායිව ආගමිකයෙකු) වූවද, බෞද්ධාගම වෙනුවෙන්ද යම් මෙහෙයක් කළ බව පිළිගැනේ.

   නමුත් රටතුළ සිංහල හා බෞද්ධ පාලනයක් ස්ථාපිත කිරීමේ ඓතිහාසික අවශ්‍යතාවය මත, එළාර පරාජය කොට රට එක්සේසත් කිරීමේ වගකීම, කාවන්තිස්ස රජුගේ දෙටු පුත් දුටුගැමුණුට පැවරෙයි. ලංකාවේ වැඩිම ප්‍රදේශයක්  සිය බලයට නතු කර ගත්තද, අඩ සිය වසකට ආසන්න කාලය මුළුල්ලේම කාවන්තිස්ස රජු විසින් පාලනය කළ රුහුණ තම ග්‍රහනයට යටත් කර ගැනීමට එළාරට නොහැකි විය.

   එසේම කාවන්තිස්ස රජුගෙන් එළාරට අභියෝගයක්ද නොවීය. එහෙත් කාවන්තිස්ස රජුගේ අභාවයෙන් පසුව රුහුණේ රජ වන දුටුගැමුණු, සිය පළමු කාර්යය ලෙස එළාරට අභියෝග කළේය.
දුටුගැමුණූ රජතුමාගේ කොඩිය
   එම අභියෝගය ප්‍රකාරව දසමහා යෝධයන් හා දහස් ගණනක සෙබළ මුළුවක් සමග දේශීය අංගම් සටන් කරුවන් පිරිවරාගෙන රුහුණු මාගම් පුරයෙන් පිටත්ව එළාර රජුගේ සුළු හා ප්‍රබලම බලකොටු විනාශ කරමින් හා එළාරගේ සේනාවල ඉහල නායකයන් හරා දමමින් ද, ගම් නගර පුරා තම අණසක පතුරුවමින් ද, මහවැලි ගග පසුකර අනුරාධපුරය කර ඇදෙන දුටුගැමුණූ රජුට විශාලම අභියෝගයක් එල්ලවූයේ විජිතපුර දීය.

   ඉන් අවුරුදු 300 කට පමණ පෙර පඩුවස්දේව රජුගේ මස්සිනා හෙවත් භද්දකච්චායනා බිසවගේ සොහොයුරෙකු වන විජිත විසින්, විජිතග්‍රාමය හෙවත් මහාවංශයේ සඳහන් වන පරිදි විජිත නගර ගොඩනගන ලදි. මෙම ප්‍රදේශයේ පණ්ඩුකාභය රජුගේද යුධ සටන් පැවති බවට, ඉතිහාසය පෙන්වා දෙයි. 

   ඉදිරි ප්‍රදේශයන්හි ඇතිවූ දරුණු සටන් වලින් පරාජයවූ එළාරගේ සේනාව ජීවිත ආරක්ෂාව සහ නැවතත් ශක්තිමත් වීමේ අරමුණින් විජිතපුරය කරා පසු බැස ආහ. බිඳවැටුණූ බලකොටු වල සිට, සිංහල සේනාවේ ප්‍රහාර දරාගත නොහැකිව හා ප්‍රතිප්‍රහාර දී ගත නොහැකිව පළා ආ එළාරගේ සෙනෙවියන් හා සෙබලුන් මෙන්ම අනෙකුත් ප්‍රබලම බල ඇණි වලින් ද තරකොට, ඉදිරියට ඇදෙන දුටුගැමුණු රජුට තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමට එළාර සැලසුම් කළේය. ආරක්ෂක උපක්‍රම හා උගුල් වලින් සමන්විත විජිතපුර බලකොටුව,  එළාරගේ ශක්තිමත්ම බලකොටුවක් විය. එය, දිය මඩ අගල් වලට අමතරව ප්‍රාකාර බිත්ති තුනකින් වටවී තිබී ඇති අතර, එම එක් ප්‍රාකර බිත්තියක උස රියන් 18 බැගින් විය. බලකොටුවේ උතුරු, දකුණු, නැගෙනහිර සහ බස්නාහිර යන දිසා හතරෙහි යකඩ වලින් නිමවන ලද ශක්තිමත් ගේට්ටු හතරකි. බලකොටුව තුළ ආරෝහ සන්නාහයෙන් සැරසුණු යුධ භටයන් දහස් ගණනකි. රාජාවලියේ විස්තර ඇති පරිදි විජිතපුරය දෙවෙනි වන්නේ අනුරාධපුරයට පමණි.

   විජිතපුරය අල්ලා ගැනීම සඳහා, සිංහල හමුදාවට මාස 4 ක කාලයක් ගතවූ අතර, මාස 4 ක් ගතවීමෙන්ම, විජිත පුරය කෙතරම් ශක්තිමක් බලකොටුවක් වීදැයි සිතා ගත හැකිය. මෙහිදී දසමහා යෝධයින් මෙන්ම දුටුගැමුණු රජුගේ කණ්ඩුල ඇතා ද සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරන ලදි.

   සටනට පෙර දුටුගැමුණු රජතුමා විසින් රණශූරයින්ගේ දක්ෂතාවයන් පරික්ෂාවට ලක්කර ගැනීමට හා දස්කම් ඉහල නංවා ගැනීමට කරන ලද විවිධ පරීක්ෂණ ඉපැරණි වංශකතා ගෙනහැර දක්වයි. ඉන් එක් පරීක්ෂණයක් නම් රා කල්දේරමක් පානය කලහැකි අයෙක් සිටින්නේදැයි විමසීමයි. සියළු දෙනා එය ප්‍රතික්ෂේප කල අතර නමුත් සුරනිමල යෝධයා ඉදිරියට පැමිණ එම රා කල්දේරම කිසිදු අපහාසුතාවයකින් තොරව පානය කළේය. තවත් පරීක්ෂණයක් වුයේ සේනාවේ අණදෙන්නාවූ නන්දිමිත්‍ර යෝධයා වෙතය. දුටුගැමුණු රජතුමා ගේ කණ්ඩුල නම් රාජකීය ඇතා කෝපාවිෂ්ට කර නන්දමිත්‍ර සමග සටනට යොමු කරනලද අතර නන්දමිත්‍ර ඇතාගේ දළ දෙකෙන් අල්ලා ඉහලට උස්සා ඇතාගේ පස්ස බිම සිටින සේ බිම හින්දුවේය.

   මෙයින් ලැජ්ජාවට හා කෝපයට පත් කණ්ඩුල, කිසියම් අවස්ථාවක පළිය ගැනීම පිණිස නන්දිමිත්‍රට පහර දීම සඳහා පොර පොල් ගෙඩියක් හක්කේ සඟවා සිටිබව ජනවහරේ සඳහන් වෙයි.

   මේ සියලුදේ අවසානයේ දුටුගැමුණු රජතුමා යුධබෙර නාදය හා ධජ ඉහලට එසවීමෙන් අනතුරුව විජිතපුරයට අවසන් පහරදීම ආරම්භ කලේය. ඒ අනුව සිංහල සේනාව එකවරම නගරයේ ගේට්ටු හතරම අක්‍රමණය කලේය. ඔහු නන්දමිත්‍ර, සුරනිමල සහ කන්ඩුල ඇතා සමග ප්‍රධාන පහරදීම දකුණු ගේට්ටුව දෙසට දියත් කරන අතරතුර භරණ, කච්චදේව, ඵුස්සදේව සහ ලාභියවසභ පෙරටුකරගත් සේනාව උතුරු සහ බටහිර ගේට්ටු දෙසට ප්‍රහාර දියත් කලේය. මහසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය සහ වේළුසුමන එක්ව නැගෙනහිර ගේට්ටු වෙත පහරදුනි. වේළුසුමනගේ අශ්වාරෝහක සටන දැක සහ සේනාව නැගෙනහිර ගේට්ටුව දෙසට දියත් කල මෙහෙයුමෙන් ගේට්ටුවේ ආරක්ෂකයෝ බියවී ගේට්ටුව අත්හැර පලාගියෝය.

   එළාරගේ සේනාව පවුරේ උඩ සිට පවුරු බිත්තිය බිදීමට දරණ සෑම ප්‍රයත්නයකදීම උණු කරන ලද යකඩ හා තෙල් පහල සිටින සේනාව වෙත විසිකරන අතරතුර ඔහුගේ දුනු හේවායින් පවුරේ සිට ඊතල විදිමින් ඔවුන් දෙසට එන ආක්‍රමණය වැලැක්වීමට දැඩි ප්‍රයත්නයක් දැරුවෝය. දකුණු ගේට්ටුව බිද දැමීමට කන්ඩුල ඇතා ප්‍රයත්න දරන අතරතුර එවන් ප්‍රහාරකට ඇතා ලක්වීමෙන්, දැඩි ලෙස තුවාල ලැබීය. එහෙත් වහා තුවාල වලට ප්‍රතිකාර කිරීමෙන් හා ඝන සමකින් ඇතාගේ සම ආවරණය කරමින් පසු දුටුගැමුණු රජතුමා නැවත පවුර බිද දමන ලෙස ඇතාට විදානය කලේය.  ඇතා එය බිද දැමීමත් සමග නගරයට ඇතුලුවූ දුටුගැමුණුගේ හමුදාව විජිතපුරය බලකොටුව අල්ලා ගත්තේය. දසමහා යෝධයින් ද පවුරු බිත්තිය තැන් කිහිපයකින් බිද දමා නගරයට අතුල්වී එළාරගේ හමුදාවට දැඩි ප්‍රහාරයක් දියත් කලේය.

   මෙහිදී ඇතු විසින් පවුර බිඳ දමන විට, පවුරේ ඉහල කොටස ඇතු මතට ඇද වැටෙන්නට විය. ඒ දුටු නන්දිමිත්‍ර යෝධයා වහා ඉහලට පැන,  සිය දෙවුරින් පවුර තල්ලුකර, කණ්ඩුල බේරාගත්තේය. එයින් නන්දිමිත්‍ර සමග පැවති වෛරය සමනය කරගත් කණ්ඩුල ඇතා, ඒ සම්බන්ධයෙන් කෘතගුණ දක්වමින් එතෙක් සිය හක්කේ සඟවා ගෙන සිටි පොරපොල් ගෙඩිය බිම ලූවේය.

   බලකොටුව තුලට වන් සිංහල හමුදාව  සතුරන්ට එරෙහිව විනාශකාරී යුද්ධයක් නිරත විය. කණ්ඩුල ඇතු රථ රෝදයක් හොඬවැලෙන් ගෙන සොලීන් ට පහර දුන්නේය. නන්දිමිත්‍ර ගැල් තට්ටුවක් ගෙන සතුරන් තැලුවේය. ගෝඨයිම්බර පොල් ගසක් ගලයා ගෙන එයින් පහර දෙන්නේය.මහාසෝණ සතුරන් තැලීමට තල්කඳක් ගත්තේය. සුරනිලග අත දැවැන්ත කඩුවකි. ථේරපුත්තාභය අත වහත් වූ යකඩ පොල්ලකි. වේළුසුමන අසුපිට නැග සුතුරන් ලෙත් ගැසුවේය. යක්ෂ ගෝත්‍රික අංගම් සටන් කරුවෝ සොළීන්ගේ බෙලි කපා දැමුවහ.

   එළාරගේ විසි මහා යෝධයන්ගෙන් ඉතිරිවූ පිරිසත් සමග, දිවි ගලවා ලැනීමට හැකිවූ එළාරගේ සෙබලු, අනුරාධපුරය බලා දුවමින් පළා ගියහ.

   විජිතපුර නගරයේ බලය අල්ලා ගැනීම යනු සිංහල සේනාවට අනුරාධපුරය අල්ලා ගැනීම වේගවත් කිරීමකි.  අවසානයේදී දුටුගැමුණු රජු යුද්ධයේ  සිය කොටස නිම කරමින් එළාර පරදා ක්‍රි.පූ. 161 දී රට එක් සේසත් කළේය.
   විජිතපුර සටන, ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා සුවිශේෂී සිදුවීමක් වන අතර, රට තුල නැවත බුදු දහම පිහිටුවීමේ සටනේ ඉතා තීරණාත්මක අවස්ථාවක් විය. නමුත් මෙම සටන පැවත් විජිතපුර නගරය පිහිටි නියම ස්ථානය පිළිබඳව මෙතෙක් නිශ්චිත එකගතාවයක් නොමැත. කලාවැව යන ප්‍රදේශය ආසන්න වශයෙන් විජිතපුරය වියහැකි යැයි සමහර පුරාවිදාඥයන් ප්‍රකාශ කරයි. වත්මනේ විජිතපුර නමින් නගරයක්ද පවතින අතර, විජිතපුර රජමහා විහාරයේ දුටුගැමුණු සේනාව විසින් කඩු මුවහත් කළායැයි සැලකෙන ගලක්ද ඇත. බොහෝ කාලයක් ජනතාව විශ්වාස කළේ විජිතපුර සටන සිදුවූයේ මෙහි යැයි යැයිය. නමුත් ඉපැරණි බලකොටුවකින් හමුවූ නටබුන් වලින් ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් මෙය පොලොන්නරුවට ආසන්න කදුරුවෙල නම් ප්‍රදේශයේ පිහිටා තිබෙන්නට ඇතැයි මේ වන විට සනාථඛ කර ගනිමින් සිටී. කදුරුවෙල නගරයට ආසන්න රජයේ බීජ ගොවිපොළ පිහිටි ප්‍රදේශයේ විජිතපුර සටනට අදාල වන නටබුන් සොයාගෙන ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව සනාථ කරයි.  

සටන සිදුවූවේයැයි විශ්වාස කරන ප්‍රදේශය

    කෙසේ වූවත්, ලක් ඉතිහාසයේ දැවැන්ත හා ඓතිහාසික සටනක් සිදුවූ ස්ථානය, හෙට දවසේ හෝ හෙළිදරව් කරගෙන අනාගත පරපුර වෙත හඳුන්වා දීම කඩිනමින් කළ යුතුව ඇත.

විජිතපුර රජමහා විහාරය

සෙබලුන් කඩු මුවහත් කළේයැයි විශ්වාස කරන ගල - විජිත පුර රජමහා විහාරයේ පිහිටා ඇත.




අන්තර්ජාලයේ පලවූ දත්ත හා තොරතුරු පදනම් කරගෙන සකස් කරන ලදි.
(චිත්‍ර සටහන් අන්තර්ජාලයෙන්)


No comments:

Post a Comment