2015-12-01

වැව් බැඳි රටේ ක්ෂේම භුමිය - රිටිගල



අපේ රටේ ලිඛිත ඉතිහාසයටත් වඩා පැරණී ඉතිහාසයක් හා ඓතිහාසික නටබුන් වලින් ගහන, විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ගිය පරිසර කලාපයක් වන රිටිගල, ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ උරුමයකි. මෙම ප්‍රදේශය අද වඩාත් ආකර්ශනයට ලක්වන්නේ රිටිගල ආරන්‍ය සේනාසනය නිසාය. නමුත් එය ඈත අතීතයත් සමග බැඳී පවතින අතර, ජීව විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක, භූවිද්‍යාත්මක, ඓතිහාසික, ආගමික, පුරාවිද්‍යාත්මක හා සෞන්දර්යාත්මක වශයෙන් අනූනය.
ඈතින් පෙනෙන රිටිගල කඳු 


 

වැව් බැඳි රටේ ක්ෂේම භුමිය - රිටිගල
(අරිට්ඨ පබ්බත)                                                                   

     රිටිගල යනු, උතුරු මැද පළාතේ, අනුරධපුරයට නුදුරින් පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල, දැඩි රක්ෂිතයකි. අභය භූමියකි. ආගමික පුදබිමකි. ඓතිහාසික නටබුන් නගරයකි. පුරාවිද්‍යාත්මත හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ භූමියකි.  දුර්ලභ මෙන්ම ආවේණිකවූ ශාක හා සත්ව විශේෂ බහුල භූගෝලීය වශයෙන්ද අතිශය වැදගත් පරිසර පද්ධතියකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානයට ලක්වූ රමණීය භූමි භාගයකි.  හබරණ - අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7 200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.

රිටිගල පිහිටීම හා මාර්ගය
       රිටිගල කඳුකරය, කඳු මුදුන් හතකින් සමන්විතය‍. ඒවා නම්, ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අමරාපති කන්ද, පටලීය හින්න හා කිරිවැල් හින්න කන්දයි. මුහුදු මට්ටමේ සිට 766 m ක් (අඩි 2 520   ක් ) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ. කිරියගස්වැව, කළුඑබේ, මොරගොඩ, මූරියා කඩවල, බමුණුගම, උල්පත, හීනුක්කිරියාව, ගලපිටිගල ආදී ගම්මාන 14 කින් වටව මෙම වන පියස පිහිටා ඇත.


     11 වැනි සියවසට පෙර රිටිගල, ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් පැවැති සේනාසන සංකීර්ණයකි. මහාවංශයට අනුව පබ්බත අරිට්ඨ යනුවෙන් හැඳින්වූ මෙම භූමිය රිටිගල ලෙස හැඳින්වීමට හේතු ගණනාවක් බලපා ඇත. පාලියෙන් අරිට්ඨ පබ්බත හා සංස්කෘතයෙන් අරිෂ්ට පර්වත යන්නෙන් සිංහලයට බිඳී එන්නට ඇතැයි සාමාන්‍ය‍යෙන් සැලකේ. රිටි යනු පාලි අරිට්ඨ යන්නෙන් බිදී ආ ආරක්ෂාව යන අරුත් ඇති පදයකි. ඒ අනුව රිටිගල ආරක්ෂක පර්වතයකි.
 
     රිටිගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්වතය රිටිගල නමින් හඳුන්වන්නට ඇත යන්න තවත් මතයකි. රිටිගල අඩතැන්නේ පිහිටි රිටක් මෙන් ඉහළට එසවී ඇති පර්වතය නිසා මේ නම ලැබෙන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.අරිට්ඨ පබ්බත” “අරිට්ට පව්ව වී, පසුව එය උච්චාරණයේ පසුව සලකා රිටිගල වූ බව ඉතිහාසඥයින්ගේ තවත් මතයකි.

     රිටිගල යන නමේ 'රිටි' යන්නෙහි ගැබ්ව පවත්නා සැබෑ අරුත කුමක් වුව ද, එම වදන සිංහල භාෂාවේ පුරාතන වචනයක් බව වාග් විද්‍යාත්මක හා ඓතිහාසික සාධක ආශ්‍රයෙන් පැහැදිලි වේ.




රිටිගල රක්ෂිතය - පහල සිට...
     දේවානම් පියතිස්ස ( ක්‍රි.පූ. 247 -207) සමයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම ලක්දිවට ගෙන ඒමෙන් පසුව බුද්ධ ශාසනයේ පැවිදි වූ දහස් ගණන් සංඝයා වහන්සේට වඩ වාසය කිරීම පිණිස රටපුරා ස්වභාවික ලෙන් සකස් කොට පූජා කරන ලද අතර‍, ඒවා කරවු අයවලුන් ගැන බ්‍රාහ්මී අක්ෂර අක්ෂර වලින් සටහන් කොට තිබේ. රිටිගල රක්ෂිත ප්‍රදේශයේ ද එවන් ලෙන් රාශියක් නිරීක්ෂණය කළ හැකිය. 

      එච්.සී.පී.බෙල් මහතා සොයා ගත් සෙල් ලිපියකට අනුව ක්‍රි.පූ. 119 - 109 සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලඤ්ඤතිස්ස, රිටිගල විහාරයක් සාදා ඇති බව සඳහන්ව ඇති අතර තවත් සෙල් ලිපියක වළගම්බා රජු විසින් රිටිගල අසල කුඹුරුයායක් කරවා භික්ෂු ශාසනයට පූජා කළ බව සඳහන්ය. තවද, ජෙට්ටතිස්ස රජු විසින් අරිට්ට විහාරයද, සූරතිස්ස රජු විසින් සංඛ හෙවත් ලංකා විහාරයද කරවනු ලැබූ අතර, පළමු වන සේන රජු පාංශුකූලික භික්ෂූන්ට මෙහි ආරාමයක් කරවා දී ඇත. වලගම්බා, ගාමිණී අභය (දුටු ගැමුණු), සද්ධාතිස්ස වැනි රජවරුන්ද මෙහි ආගමික ඉදිකිරීම් කර තිබේ.  කටාරම් කොටන ලද ගල්ලෙන් 74 ක්‌ද බ්‍රාහ්මි අක්‍ෂරවලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්‌ද පුරාවිද්‍යාත්මක අගයක්‌ ඇති විවිධ ගොඩනැඟිලි 140 ක පමණ නටබුන්ද එසේම අති පැරණි ආයුර්වේද රෝහලක නටබුන්ද අදටත් රිටිගල දී දැක බලා ගැනීමට පුළුවන.








     මීට වසර 2500 කට පමණ පෙර එනම් ක්‍රි.පූ. 437 දක්වා පැහැදිලි ඉතිහාසයක් ඇති රිටිගල, අපේ රටේ මුල්ම රාජධානිය වන  අනුරාධපුරය බිහිවීමටත් ටත් පෙර පණ්ඩුකාභය කුමරු (ක්‍රි.පූ. 377 – 307)  ගේ සටන් මධ්‍යස්ථානයක්ව පැවතුණි. ඔහු සිය මාමාවරුන් සමග කළ සටනේදී මධ්‍යස්ථානය කරගෙන ඇත්තේ මෙම භූමියයි. ඊටත් පෙර විජය කුමරු සමයේදී ද ඔහුගේ ගමන් බිමන් සමග රිටිගල සම්බන්ධ වේ. දුටුගැමුණු රජතුමා එළාර රජුට විරුද්ධව ගෙන ගිය සටනේදී රිටිගල ද බලකදවුරක් ලෙස පාවිච්චි කළ බව මහාවංසයේ සදහන් වේ. අවුරුදු දහසකටත් වඩා කාලයක් ශ්‍රී ලංකාවේ අගනුවර වූ අනුරාධපුරයට රිටිගල සිට ඇත්තේ සැතපුම් විසිපහකටත් නොවැඩි කෙටි දුරකි. එමෙන්ම පොළොන්නරුව පවතින්නේත් ඊට ආසන්න දුරකි. මේ නිසා දකුණු ඉන්දියාවෙන් නිරන්තරයෙන් එල්ලවු ආක්‍රමණ වලදී අපේ ඉතිහාසයේ බොහෝ රජවරු ආරක්ෂිත භුමියක් ලෙස රිටිගල භාවිතා කර ඇති බව පැහැදිලිය. එහෙම සැඟවි සතුරාට නිරන්තරයෙන් පහරදී අඩපන කිරිමට රිටිගල කදවුරු බැදගත් ආකාරය ඉතිහාස තොරතුරු වලින් තහවුරු වේ. මහාවංශයේ පමණක් නොව, ලංකා ඉතිහාසය ගැන සඳහන් වන සෑම ග්‍රන්ථයකම පාහේ රිටිගල ගැන විවිධ සටහන් තිබීමෙන් එහි වටිනාකම සිතාගත හැකිය.

     කෙසේ වුව ද මෙම රමණීය පරිසරය ඓතිහාසික හා ජන ප්‍රවාද වල එන තොරතුරුත් සමඟ සංසන්දනයෙන් යුතුව බැලීමේදී පෙනීයන්නේ හුදෙක් සමාධි සුවයෙන් කාලය ගත කළ භික්ෂුන් උදෙසා කර වූ තැනක් යන්නය. ලංකාවේ පළමු මහ රහතන් වහන්සේ වන අරිට්ඨ ස්වාමීන් වහන්සේ තවත් 500 ක් සංඝයා වහන්සේ සමග මෙම භූමියේ රැඳී භාවනානුයෝගීව වැඩ සිටි බව මහාවංශය අවධාරණය කරයි. යුධ බලකොටුවක් හා ආරක්ෂිත කඳවුරක් ලෙස වරින් වර විවිධ රජවරුන් භාවිතා කර තිබුණද, බොහෝ විට රිටිගල ආගම දහමට බරව නිසංසලේ පැවතියේය.

    තවත් දුටුගැමුණු රජතුමා ගේ කාලයේදි (ක්‍රී.පු. 101 - 77) රජතුමාගේ දසමහා යෝධයන් අතර සිටි ගෝඨයිම්බර හා රිටිගල අරක්ගත් යක්ෂ ග්‍රෝතික සෙන්පතියෙක් වු රිටිගල ජයසේන අතර ඇතිවූ සටන  ඉතා රසවත් පුරාවෘත්තයකි. මේ සටනේදි ගොඨයිම්බර යෝධයාගේ පහරකට ජයසේනගේ හිස වෙන්වි සොයා ගත නොහැකි තැනක වැටුන බවත්, සෙනසුරු විසින් කඳේ පණ ඇති බව දැක හදිසියේ පැමිණ  වළසකුගේ හිසක් ජයසේනට සවිකල බවද පුරාවෘත්තවල සඳහන් වේ. පසුව ජයසේන මහසෝන් යක්ෂයා විය.  හදිස්සියට හිස සවිකිරිමේදි හිස පසුපසට සවිකල බවත් තවමත් මහාසෝනාගේ වලස් හිස පිටුපසට ඇති බවත් සඳහන්ය.


     ශ්‍රී ලංකාවේ අතීතයේ පාලනය කළ රාවණා යුගයේදීද රිටිගල ප්‍රදේශය පිළිබඳ අලිඛිත සාක්ෂි දැකිය හැකිය. රාම රාවණ යුද්ධයේදි රාමාගේ කණ්ඩායමට අනතුරු වු විටදී බෙහෙත් ඖෂධ හොයන්නට හිමාලයට ගිය හනුමන්තා හදිසියට බෙහෙත සොයාගත නොහැකිව හිමාලයෙන් කොටසක්ම කඩා ගෙනා බව රාමාවනයේ සඳහන්ය. ඉන් කොටසක් රිටිගල කදු මුදුනෙහි තැම්පත් කල බව ජනකතාවල කියවේ. ගැමියෝ පවසන්නේ රිටිගල කදු මුදුනේ ඇති කොටස් හනුමන්තා හිමාලයෙන් ගෙනා කොටසක් බවය. (තව කොටසක්  දොළු කන්දේද, තවත් කොටසක් රූමස්සලද වැටුණු බව සඳහන්ය.) රිටිගල පුරා විසිරී පවතින,  වෙනත් ප්‍රදේශවල නැති සුවිශේෂී ඖෂධීය ශාක එනම් ඉරරාජ, සඳරාජ, වනරාජ, නගා මැරු අල, වෙල්ලංගිරිය, බිම් කොහොඹ, ජටා මකුල, රුදන්ති වැනි දුර්ලභ ඖෂධ ශාක බහුලව දැකිය හැකිය. මෙම ඖෂධ පැළෑටි වෙනත් කිසිදු තැනක නොමැති වුවද දොලුකන්දේදී දක්නට ලැබීමෙන් පුරාණ පුරාවෘත්ත වලට සාධාරණයක් කරනු පෙනේ.



    රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි. ඒසමඟම අපට හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරාවැටුණු "බන්දා පොකුණ" නම් වූ සුවිශාල ශෛලමය පොකුණයි. දකුණු ආසියානු කලාපයේ පවත්නා අති විශාලතම පොකුණ ලෙස මෙම "බන්දා පොකුණ" පුරාවිද්‍යාඥයන් විසින් හඳුනා ගෙන ඇත. ලෝකයට නම යන්නට අදටත් වඩා අද්භූත - විශ්මය ජනක ආශ්චර්යවත් නිර්මාණ හා ඉදිකිරීම් හෙළ රජ දවස සිදු වී ඇති බවට බන්දා පොකුණ හොඳම සාධකයකි. ආරණ්‍යවාසීව වැඩ වාසය කළ පන්සියයක්‌ සංඝරත්නයේ පැන් පහසුව සඳහා මෙම බන්දා පොකුණ එකල රජ දරුවන් විසින් ඉදි කරන්නට ඇතැයි සැලකිය හැකිය. මීට අමතරව ගල්පාලම්, පියගැට පේළි, කවාකාර ශෛලමය වේදිකා,  ඔප දැමූ සුවිසල් ගල් පුවරු, සෙල්මුවා පහණ, තටාක, බෙහෙත් ඔරු, සලපතළ මළු, විවිධාකාර ගිමන්හල් ආදී විශ්මය ජනක ගල්වැඩ රිටිගල පුරාවිද්‍යා බිම පුරාවට පැතිරී ඇත. එදා ගල් වඩුවන් රිටිගල පියසේ ඉදි කර ඇති ශෛලමය වූ විශ්මය ජනක නිර්මාණ තුළ සැඟවී ඇත්තේ අපේ ජාතියේ අස්‌පර්ශ උරුමයයි. රිටිගල පුරාවට පැතිරී ඇති වාරි, වාපි, ශෛල ශිල්පීන් පිළිබඳ අස්‌පර්ශ උරුමය වර්තමාන පුරපුරට හෙළිකර ගත හැකි නම්, රට හා ජාතිය ප්‍රතිසංවර්ධනයේ දී ඒ තරම් පිංකමක්‌ තවත් නැති තරම්ය. තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්,පියගැට පේළි,කවාකාර වූ‍ශෛලමය වේදිකා, ඔපමට්ටම් කරන ලදවි ශාල ගල් පුවරු, සෙල්මුවා පහන්, තටාක, සක්මන් මළු, කටාරන් කෙටූ ගල් ලෙන්, පතානගර හා ගල් කුළුණුය. මේ සියල්ලක්ම අපට කියා පාන්නේ අපේ අතීත වාස්තු විද්‍යාවේ විස්මිත නිර්මාණාත්මක ශක්තියයි. 

බන්දා පොකුණේ නටබුන්
     වසර 1500 ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල, 11 සියවසේදී චෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් වන්නට විය. වනාන්තරය විසින් ගිලගෙන වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්ද, වර්තමානයේදී  ද වනාන්තරයෙන් වැසී පවතී.

ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක ගවේෂණ වල පුරෝගාමියෙක් වශයෙන් සැලකන එමෙන්ම පළමුවන පුරාවිද්‍යා කොමසාරිස් වරයාද වූ එච්.සී.පී.බෙල් මහතා, රිටිගල පිළිබඳ අවධානය යොමුකළ ප්‍රථම පුරා විද්‍යාඥයා වෙයි. රිටිගල කන්ද මුළුමනින්ම ගවේෂණය කොට එහි පැවති ලෙන් හා ශිලා ලිපි හඳුනාගැනීමත්, නටඹුන් සොයා ගැනීමත් ඔහුගෙන් ලැබුණූ දායකත්වය ඉමහත්ය. එම පුරාවිද්‍යාත්මක තොරතුරු ඇතුලත් කොට සැලසුම් හා රූ සටහන් සහිතව බෙල්මහතා විසින් 1893 දී වාර්තා 03 ක් ඉදිරිපත් කරන ලදි. ඒවා නම්,

1.               1.  "Ritigalakanda", sessional paper xxx viii Annual report -1893,

  1. Archaeological survey of ceylon&plans and platesfor Annual Report-1893,
  2. Ancient Ruins of Ritigala
      මෙම වාර්තා, රිටිගල පිළිබඳ අධ්‍යයනයකදී ඉතා ප්‍රයෝජනවත් වන මූලාශ්‍ර වේ.


     1942 දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුණු අතර, එහි ශාක හා සත්ව විශේෂ රැක ගැනීම කෙ‍රෙහි විශේෂ අවධානය යොමු වන්නට විය. පුරා විද්‍යාත්මකකටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් ආරම්භ වූයේ, 1960දී පමණ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේය. වර්ෂ 1980 සංස්කෘතික ත්‍රිකෝණයේ කටයුතු ආරම්භ වීමත් සමඟ,ඊට අයත් පෞරාණිකස්ථානයක් වශයෙන් රිටිගල වැදගත්කම යළිත් වරක් ඉස්මතු වූ අතර, පුරා විද්‍යාදෙපාර්තමේන්තුව යටතේ කැණීම් හා සංරක්ෂණ කටයුතු දැනට සිදු කරගෙන යනු ලැබේ.


  • තෙත් කලාපීය දේශගුණ රටාවට සමීප දේශගුණික තත්වයක් ඇත. අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් ඇත.
  • ‍ඓතිහාසික නටඹුන් නගරයක් ලෙස වැදගත් වේ.
  • උද්හිද විද්‍යාත්මකව වැදගත් වේ.
  • නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වූයේ එහි ඇති බ්‍රාහ්මි ශිලාලිපි හේතු කොට ගෙනය. මිහින්තලේ, වෙස්සගිරිය, යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන්ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමි වේ. මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ ප්‍රමුඛයකු වූ සෙනරත් පරණවිතාන වැනිවිද්වතුන්ගේ අවධානය ද රිටිගල කෙරෙහි යොමු වීමත් සමඟ මෙම ස්ථානයේ වටිනාකමතවත් වැදගත් වන්නට විය.
     ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇත. පළු,වී ර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වැනිනොයෙකුත් පළතුරු හා ඉතාම දුර්ලභ වර්ගයේ අශෝක වැනි මල් වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල බෙයියා, බට ගොයා, දෙමලිච්චා වැනි පක්ෂීහු ද විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදි සිවුපාවෝ ද පිඹුරා, නයා, පොළඟා හා උරඟ සත්ව විශේෂයෝ ද එමට වෙති.

      රිටිගල කඳුවැටිය ආශ්‍රිතව ප්‍රථම වරට උද්භිද විද්‍යාත්මක වටිනාකම් පිළිබඳව අධ්‍යයනයක්‌ කරමින් කතිකාවතක්‌ ඇති කළේ ඉංග්‍රීසි ජාතික "හෙන්රි රිචිමන්" මහතා 1887 දීය. උපරිම ජෛව විවිධත්වයක්‌ ඇති රිටිගල රක්‍ෂිතයේ මේ වන විට ශාක විශේෂ 337 ක්‌ රැඳී පවත්නා බව වාර්තා වේ. එයින් ශාක 57 ක්‌ ම අපේ බිමේ සහජාත ඒවා වේ.

    රිටිගල කඳුවැටිය තුළ එකිනෙකට වෙනස්‌ වූ පරිසර පද්ධතින් 3 ක්‌ පැවතීම විශේෂ ලක්ෂණයකි.

(
අ) කඳුවැටියේ පහළම කොට (බිම් අඩවිය)
වියලි, මිශ්‍ර, සදාහරිත වනාන්තරමය ලක්‍ෂණ පවතී. මෙම ප්‍රදේශයේ මොර, හල්මිල්ල, කලුවර, වීර, පලු, නා වැනි රජරටට ආවේණික ශාක වර්ග පවතී.

(
ආ) කඳුවැටිය මධ්‍යතලය
 තෙත් කලාපීය වනාන්තර ලක්‍ෂණ දක්නට ලැබේ. මෙම පියසේ ඇටඹ, කුඩුදවුලා, ඕමාර, කැන්ද, නා වැනි ශාක සුලභව දක්‌නට ලැබේ.

(
ඇ) කඳු මුදු
මෙහි දකින්නට ලැබෙන්නේ කඳුකර කලාපීය වනාන්තරවල ස්‌වභාවයයි. නෙලු, බිනර, කැකුණ, දුම් වැනි ශාක වර්ග මෙහි පවතී.

      රිටිගල ජෛව විවිධත්වය සමීපව අධ්‍යයනය කිරීමේ දී රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ 05 ක්‌ එහි පවත්වා බව පෙනේ. රිටිගල තම්බජියා, ගල් කප්පර වල්ලිය, නෙලු, උණ, මී යන ශාකයන් සුවිශේෂි ශාක වර්ග ලෙස හඳුනා ගෙන තිබේ. මීට අමතරව. හනුමන්තා ගෙන එන විට කඩා වැටුනේයෑයි ජනප්‍රවාදයේ පවතින දොළු කන්ද මුදුනේ ද මෙම ශාක වර්ග අදටත් පවතී. මෙසේ සමාන ඖෂධ ශාක පැවැතීමේ හේතුවෙන් රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කන්දත් - දොළු කන්දත් හනුමන්තා දඹදිවින් ගෙනා කන්දේ කෑලි යෑයි කියන්නට ජනප්‍රවාද පෙළ ගැසුනේදැයි වෙනම විමසා බැලිය යුතුය.

     අනුරාධපුර හා පොළොන්නරුව සංචාරයේ යෙදෙන දේශීය හා විදේශීය සංචාරකයෝ අතරමගදී ගනේවල්පොල ප්‍රදේශයෙන් හැරී රිටිගල ආරණ්‍ය සේනාසනය සහ නටබුන් නැරඹීමට යති. නමුත් නැරඹීමට අවසර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පාලනය වන කැණීම් කටයුතු කර ඇති කොටස පමණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන විශාල වන ප්‍රදේශය නැරඹීමට විශේෂ අවසරයක් ලබා ගත යුතු අතර, එම කොටසේ මෙතෙක් කිසිඳු කැණීම් කටයුත්තක් කර නොමැත. කෙසේ වූවත් පුහුණු මගපෙන්වන්නෙකුගේ සහාය ලබා ගැනීම ඉතා වැදගත්ය.


     මෙම සුවිශේෂී කලාපය වෙත විශේෂ අවධානය යොමුකර, වනාන්තරයේ අනෙක් කොටස් වලද කැණීම් කටයතු කළ යුතු බව බොහෝ අය ඉල්ලා සිටියද, එයින් පරිසර පද්ධතියට හානි සිදුවේය යන බියෙන් එසේ නොකරන බව  පැහැදිලිය. නමුත් පරිසර පද්තියහැකි උපරිමෙන් රැක ගෙන අතීතයේ තොරතුරු ගබඩාවත් විවෘත කළ යුතුව තිබේ. ඒ, මෙය අපේ රටේ අතීතය, මහවංශයෙන් එපිටට ඇරගැනීමට ඇති රන් යතුරු දෙකෙන් එකක් මෙය නිසාය. අනෙක සීගිරියයි.

 
අන්තර් ජාලයේ දත්ත හා තොරතුරු පදනම් කරගෙන සකසන ලදි.

( ඡායාරූප - අන්තර්ජාලයෙන් )

No comments:

Post a Comment