2015-11-09

ලෝවා මහා පාය

ලොව පළමු මහල් ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ අනුරාධපුරයේ ලෝවාමහාපායයි. ඉතිහාස විචාරකයන් පවසන්නේ ලෝවාමහාපාය ඉදිකළ ක්‍රි.පූ. 150 පමණ කාලයේ, ගොව කොතැනක හෝ මහල් නිවාස ඉදිවී තිබූ බවට සාධක නොමැති බවයි. ඒ අනුව ලොව පළමු මහල් ගොඩනැගිලි ඉදිකළේ අතීත සිංහලයෝ බවට අපට උදම් ඇනිය හැකිය.

ලෝවාමහා පායට ඉහලින් රුවන්වැලි සෑය - ශ්‍රී මහා බෝධිය ඉදිරිපස සිට
මගේ කාච සටහනක්

මේ කල්පයේ පහලවී ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, සහ ගෞතම නම් වූ සිව්මහා බුදුරජාණන් වහන්සේලා ගේ පාදශ්පර්ෂයෙන් පවිත්‍රත්වයටත් පූජනීයත්වයටත් පත් වූ අනුරාධපුර ශුද්ධ භූමියේ ඇති අටමස්ථාන අතරින් එකක් වන ලෝවාමහා පාය, ශ්‍රී ලාංකේය ඓතිහාසික ඉදිකිරීම් තාක්ෂණයේ ස්වර්ණමය සළකුණකි.

තඹ ලෝහයෙන් කළ උළු පියස්සෙන් වැසුණු මන්දිරයක් වූ නිසා මෙයට ලෝවාමහාපාය ලෙස නම තබා තිබේ. ලෝවාමහාපාය නොහොත් ලෝවා මහා ප්‍රාසාදය අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙවුනා උයනෙහි පිහිටා ඇත. දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳුමහ රහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර සංකීර්ණයේ පොහොය ගෙය (උපෝසථාගාරය) ලෙස, මෙය හඳුන්වයි. මෙම පූජා භූමිය රජතුමා විසින් රිදියෙන්කළ නගුලකින් හාරා මායිම් සලකුණු කළ බව, ඉතිහාසයේ සඳහන්ය.

සොළී ආක්‍ර‍මණ නිසා කාලයක් මුළුල්ලේ වල් වැදී තිබූ මහමෙවුනාව දුටුගැමුණු රජතුමාගේ (ක්‍රි. පූ 161 - 137) රාජ්‍ය සමයේදී යළි ප්‍ර‍ථිසංස්කරණය කිරීමේදී, මෙම පොහොය ගෙය මහල් නවයකින් යුක්තව කරවන ලදී. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාළ අනාවැකියක් පරිදි රාජ මන්දිරයේ කරඬුවක බහාලන ලද රන්පතක ලියා තිබූ සටහනක් අනුව, ලෝවා මහා පාය ගොඩ නැංවූ බව මහා වංශයේ සඳහන් වේ. දුටුගැමුණු රජතුමා මහමෙව්නා උයනට මහා සංඝරත්නය රැස්කරවා මෙසේ පැවසීය. ‘නුඹ වහන්සේලාට මම දිව්‍ය මන්දිරයක් සමාන වූ ප්‍රාසාදයක් කරවන්නෙමි. දිව්‍ය ලෝකයට වැඩ එහි ආකාර සැලැස්මක් මා වෙත ගෙන්වා දෙන සේක්වා’. ඉනික්බිති රහතන් වහන්සේ අටනමක් තව්තිසා දෙව්ලොවට වැඩ ‘භරණී’ නම් දිව්‍යාංගනාවගේ නවමහල් දිව්‍ය විමානය දැක එහි සැලැස්ම සිවුරක් මත සටහන් කරගත් බවත් එම සැලැස්මට අනුකූලව ලෝවාමහාපාය කර වූ බවත් මහාවංශය සඳහන් කරයි.

මහා ශෛලමය කුළුණු දහස් ගණනක් මත මහල් නවයකින් යුක්තව එක් එක් මහලේ රිදියෙන් නිමවන ලද කුළුගෙවල් (කූටාඝාර) 100 බැගින් සහ ගබඩා දහසකින් සමන්විතව රන් රිදී මැණික් ආදියෙන් දිව්‍ය විමානයක් ලෙසටම අලංකෘතව මේ මහා පාය කර වූ බව වංශකතා වල සඳහන් වේ. මෙම වටිනා වස්තූන්ට අමතරව මේ මහා ප්‍රාසාදය සෑදීමට තිස් කෙළක් කහවනු (කහවනු කෝටි තිහක්) වැය වූ බවද කියැවෙයි. මහා වංශයේ සඳහන් වන පරිදි ලෝවාමහාපායේ දිග, පළල සහ උස රියන් දහස (අඩි 1500 ) බැගින් විය. නමුත් අද දක්නට ඇති නටබුන් වූ ගල් කණු වලින් වැසී ඇති භූමියේ දිග, පළල, අඩි 200 ක් බැගින් වෙයි. මේ නව මහල් ප්‍රාසාදයේ පළමු මහල පෘථග්ජන භික්ෂූන් වහන්සේ සඳහා ද දෙවැනි මහල ත්‍රිපිටකධර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ද තෙවෙනි, සිව්වැනි සහ පස්වැනි මහල් සෝවාන් සකෘදාගාමි සහ අනාගාමී ආර්යයන් වහන්සේ සඳහා ද වෙන් කරන ලද බවත් පස්වැනි මහලේ සිට නවවන මහල දක්වා රහතන් වහන්සේ වෙනුවෙන් වෙන්ව තිබූ බවත් සඳහන් වෙයි.

මේ අනුව බලන කල ලෝවාමහාපාය ඉතා දර්ශනීය හා දැවැන්ත එකක් වූ බව පිළිගත හැකිය. ක්‍රි.පූ. දෙවන සියවසේ ලොව කොතැනක හෝ මෙවැනි විශාල මහල් ගොඩනැගිල්ලක් වාර්තා වන්නේ නැත.


සද්ධාතිස්ස රාජ්‍ය සමයෙහි (ක්‍රි.පූ 137 - 119) මහාපාය ආලෝකවත් කළ පහනක් පෙරැළී ලෝවාමහාපාය ගිනිගත් බව කියැවෙයි. එසේ වුව රජු එය සත්මහල් කොට යළිත් තැනවූයේය. භාතිකාභය රජු එය පිළිසකර කරවූයේ සියක් අවුරුද්දකට පසුවය. පළමුවෙනි සිරිනාග (ක්‍රි.ව.196-215) රජු එය පස් මහල් කොට සෑදවූයේය. දෙවන සිරිනාග රාජ්‍ය සමයේ ද නැවතත් මෙය ගිනිගත් බැවින් එය ප්‍රතිසංස්කරණය කෙරිණී. එසේ වුව ජෙට්ඨතිස්ස රජු නැවතත් එය සත් මහල් කරවීය. කෙසේ වූවත්, ක්‍රි.ව.276-303 අතර රජ කළ මහසෙන් රජු, සිය පාලන සමයේ මුල් කාලයේදී මහායානික සංඝයා වහන්සේගේ බස් අනුව මහා විහාරවාසීන් කෙරෙහි උරණවී ලෝවාමහාපාව විනාශ කොට,  පවුරු පදනම් පවා මුලිනුපුටා දැම්මවීය. ඔහු එපමණකින් නොනැවතී එයට අයත් වූ දෑ අභයගිරි වාසීන්ට දී - ගොඩනැගිල්ල තිබූ භූමිය පවා යකඩ නඟුලින් සාවා උඳු වැපිරවීමටද කටයුතු කළ බව සඳහන්ය.

එසේ වුව කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු (303-331) විනාශ වූ ගොඩනැගිල්ල යළි ගොඩනංවන ලදි. ඉන්පසුව ධාතුසේන රජු ද, පළමුවන හා සිව්වන අග්‍රබෝධි රජවරුන් ද, මානවම්ම රජු ද, ලෝවාමහාපාය රැකගැනීමට කටයුතු කර ඇත. ක්‍රි.ව.833-853 අතර රජ කළ පළමුවැනි සේන රජුගේ කාලයේ දී මෙරට ආක්‍රමණය කළ දකුණු ඉන්දීය පාණ්ඩ්‍යයන් නිසා ලෝවාමහාපායෙහි විනාශය නැවතත් සිදුවිය. එසේ වුවද, දෙවන සේන රජු (ක්‍රි.ව.853-887) එය නැවතත් පිළිසකර කොට ඒ තුල ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කළ බව සඳහන්ය. ඉන් පසුව මෙහි වර්ධනය සඳහා කටයුතු කළ රජවරුන් අතර පස්වන කාශ්‍යප රජු ද (ක්‍රි.ව.914-923) සිව්වන මහින්ද රජු ද (ක්‍රි.ව.956-972) අමතක ‍නොකළ යුතුය. ලෝවාමහාපාය නැවතත් විනාශ මුඛයට ඇදවැටු‍ණේ ද, නගරය කොල්ල කෑමට ලක් වූයේ ද, එසමයෙහි වූ සොළීන්ගේ ආක්‍රමණය හේතුවෙනි. එතැන් සිට අනුරාධපුර නගරය වල් බිහි වන්නට විය. එසේ වුව (ක්‍රි.ව.1153 -1186) අතර රජ කළ පරාක්‍රමබාහු නම් ශ්‍රේෂ්ඨ නරපති තෙමේ මෙම පුණ්‍ය ගොඩනැගිල්ලෙහි ටැම් 1600 යළි ස්ථාපනය කළේය. එපමණකින් නොනැවතුණ ඔහු එහි ඉදිකිරීම් ද අඩකින් නිම කළේය. අද දින අපට දැක ගැනීමට ඇත්තේ එම ස්තම්භයන්ය. මෙම මාහැඟි ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා දැව වර්ගයක් (කිතුල් හෝ තල්) භාවිතා කළ බව ද අනාවරණය වී තිබේ. කෙසේ වුව ඒවා මත අඳිනු ලැබූ චිත්‍ර විනාශ වූයේ සද්ධාතිස්ස රජු දවස ගිණි ගැනීම හේතුවෙනි.



මහාවංශ ටීකාවේ සඳහන් වන පරිදි අනුරාධපුරයේ සිට නව යොදුනක් දුර දිඹුලාගලට ද බටහිර සයුරේ යොදුනක් දුරට ද සොභමාන සේ දිස් වූ බව පැවසෙන මේ මහාපාය කාල ගමන් මගෙදි ගිනිගෙන දැවෙමින්, විනාශවෙමින් නැවත ගොඩ නැගෙමින් අද දිනයේ නටබුන් වෙමින් වුව ද ඉතිහාස වංශකතාවේ නොමැකෙන සුවිශේෂී සටහනක් තබා තිබේ.

ශ්‍රී ‍මහා බෝධියත් රුවන්වැලි සෑයත් අතර නැගෙනහිර පැත්තට බරව ලෝවාමහාපායේ නටබුන් පිහිටා තිබේ. එක් පෙළකට මහා ගල් කුණු 40 ක් බැගින් පේළි 40 ක මුල් ගල් කණූ සංඛ්‍යාව 1600 කි. දැනට පෙනෙන අන්දමට ඒ ගල් කණු එසේ සිටුවා ඇත්තේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ නියමය පරිදිය. ගල් කණු තිබෙන භුමිය හරි හතරැස් වෙයි. යටින් ඇති අත්තිවාරම එක් පැත්තකට අඩි 200 බැගින් වෙයි. මුල් ලෝවාමහාපායේ පළල අඩි 200 ක් විය. ගල් කණුවල ප්‍රමාණය ගැන සළකන විට ඒවා මත විශාල ගොඩනැගිල්ලක් වූ බව සිතාගත හැකිය. ඉතා මෑතකදී ගල් කණු මත තනි මහලනික් යුත් පොහොය ගෙයක් තනා තිබේ.

වත්මන් ප්‍ර‍තිසංස්කරණයට පෙර ලෝවාමහාපාය

අන්තර්ජාලායේ දත්ත හා තොරතුරු හා පදනම් කරගෙන සංසංකරණය කරන ලදි.
- අනෙකුත් ඡායාරූප අන්තර්ජාලයෙන් -

No comments:

Post a Comment