2015-11-03

දෙකේ බලේ...!

මේක ගණිතය විෂයයේ අංක ගණිතය කියන තේමාව යටතේ 7 ශ්‍රේණියේ දී උගන්වන බල හා දර්ශක පාඩමටත් අදාලව ගෙතූ හෝ සිදුවූ ලස්සණ සිද්ධීයක්. කියවලා බලමු. ෴





     ගණිතය විෂයට මගේ හිත ඇදිල යන්න බලපාපු සාධක අතරේ, වයි. පෙරල්මාන් කියන රුසියන් කාරයත් ඉන්නවා. ඇත්තටම කිව්වොත් වයි. පෙරල්මාන් කියන්නේ ගණිතයේ විසිතුරු තැන් හා ගණිත ගැටලු ප්‍රහේලිකා රාශියත් ගොඩනගපු නැත්නම් එක් රැස් කරපු ලේඛකයෙක්... ඔහු ලියූ එක් පොතක්, ගණිත විනෝදය නමින් සිංහලට පරිවර්තනය කරලා ගොඩක් ජනප්‍රිය වුණා... ඒත් දැන් ඒ පොත හොයා ගන්න නෑ... 

ඒ වුණාට ඒ පොතේ තිබුණු කථාවක් තාම මතකයි.
-----------------------------------------------------

මිනිහෙක් එක්තරා බැංකුවක දිනපතා මුදල් තැන්පත් කරනවා. බැංකුවේ මැනේජර්ට මෙයාව සැකයි, හැමදාම සල්ලි තැන්පත් කරන්න සල්ලි කොයින්ද කියලා. ඔහු බැංකුවේ අයිතිකාරයව දැනුවත් කරනවා. හොරෙක්ද දන්නෙත් නෑනේ. අයිතිකාරයා තැන්පත් කරුවාව ගෙන්නලා අහනවා හැමදාම තැන්පත් කරන්න සල්ලි කොහෙන්ද කියලා. 

"මම ඔට්ටු අල්ලනවා. "
"ඉතින් ඔට්ටු අල්ලලා හැමදාම දිනනවාද"
"ඔව්…."
"එහෙනම් මාත් එක්කත් ඔට්ටවක් අල්ලමු. "
ඔට්ටු කාරයා ටිකක් කල්පනා කළා...
"හරි, මම හැමදාම උදේ 7 ට ඔබතුමාට රුපියල් ලක්ෂයක් ගෙනත් දෙනවා. "
"එතකොට....? "
"ඔබතුමා මට ශතයක් දෙන්න ඕනේ... "
"ශතයක්...? "
"ඔව්... දෙවන දවසේ ශත දෙකක්... තුන්වන දවසේ ශත හතරක්... පස්වන දවසේ ශත අටත්.. ඒවගේ. හැම දවසකම කලින් දවසේ වගේ දෙගුණයක්.....! "
"කොච්චර කාලයක්ද..? "
"දවස් 30 යි. ! " ඔට්ටු කරුවා උත්තර දුන්නා. 
දෙවරක් නොසිතාම බැංකුකරුවා ඔට්ටුවට එකග වුණා. 

-----------------------------------------------------

         තමන්ට ලැබෙන්න යන වාසිය ගැන හිත හිතා බැංකුකරුවා සැකෙන් ඉන්න කොට පහුවදා උදේ 7 ට ගිවිස ගත් පරිදි ඔට්ටුකරුවා ආවා... රුපියල් ලක්ෂයක මුදලක් මේසේ උඩින් තිබ්බා... බැංකු කරුවාට රුපියල් ලක්ෂයක් අරං සතයක් දෙන්නත් මොකද්ද වගේ. ඒත් ඔට්ටු කරුවා, තමන්ට දීපු ශතේ අරං යන්න ගියා. බැංකු කරුවා කල්පනා කරනවා මොකද්ද මේ ලැබෙන්න යන නිධානය කියලා.

          දෙවන දවසෙක් ඔට්ටු කරුවා ආවා. ලක්ෂයක් දුන්නා.. ශත දෙකක් අරං ගියා...

         දැන් හැමදාම උදේ 7 ට බැංකු කරුවාට රුපියල් ලක්ෂයක් ලැබෙනවා. ඒ වෙනුවට ඔහු තුන්වන දවසේ ශත 4 ක්, හතරවන දවසේ ශත 8 ක් පස්වන දවසේ ශත 16 ක් ගෙවනවා. හයවන දවසේ ශත 32 යි. හත්වන දවසේ ශත 64 යි. අටවන දවසේ රුපියල් 1 යි ශත 28 යි. නවවන දවසේ රුපියල් දෙකයි ශත 56 යි. දහවන දවසේ රුපියල් පහයි ශත 12 යි.   

       බැංකු කරුවා ගණන් හදල බලනවා. මේ දවස් 10 ට රුපියල් ලක්ෂ 10 ක් ලැබුණා. ගෙවලා තියෙන්නේ රුපියල් දහයයි ශත විසි හතරක් විතරයි. දින 30 න් මේ ඔට්ටුව අවසන් වීම ගැන ඔහුට කණගාටුයි. නමුත් කොන්දේසි වෙනස් කරන්න ඔට්ටු කරුවා කැමති වෙයිද කියලා සැක නිසා අහන්නත් බයයි.

        11 වන දවසේ ගෙවන්නේ රුපියල් 10.24 යි. 12 වන දවසේ රුපියල් 20.48 යි. 13 වන දවසේ රුපියල් 40.96 යි. 14 වන දවසේ රුපියල් 81.92 යි. 15 වන දවසේ රුපියල් 163.84 යි.

       දවස් 15 ක් අවසානයේ ලැබුණූ රුපියල් ලක්ෂ 15 ට බැංකු කරුවා ගෙවල තියෙන්නේ රුපියල් 327. 67 ක් විතරයි.

       16 වන දවසේ බැංකු කරුවා රුපියල් 327. 68 ක් ගෙවනවා. 17 වන දවසේ රුපියල් 655. 36 යි. 18 වන දවසේ රුපියල් 1 310. 72 යි. 19 වන දවසේ රුපියල් 2 621. 44 යි. 20 වන දවසේ රුපියල් 5 242. 88 යි.

       දැන් සත ගණන් වෙනුවට දාස් ගණන් වලින් ගෙවන්න වෙලා. ඒත් ලැබිච්චි ලක්ෂ 20 ට තාම ගෙවලා තියෙන්නේ දහ දාස් හාරසිය අසූ පහයි ශත හැත්තෑ පහක්  ( 10 485. 75 ) ක් විතරයි.

              21 වන දවසේ රුපියල්   10 485. 76
              22 වන දවසේ රුපියල්   20 971. 52
              23 වන දවසේ රුපියල්   41 943. 04
              24 වන දවසේ රුපියල්   83 886. 08
              25 වන දවසේ රුපියල් 1 67 772. 16

        අපොයි... දැන් ගේන් ලක්ෂෙට වඩා ඔට්ටු කරුවා ආපහු අරං යනවා.... ඒත් බැංකු කරුවාට කණගාටුවක් නෑ. මොකද, තාම තමන්ට ලැබිච්චි ලක්ෂ 25 ට ගෙවලා තියෙන්නේ රුපියල් තුන් ලක්ෂ තිස් පන්දාස් පන්සිය හතලිස් හතරයි ශත තිස් එකක් ( 3 35 544. 31 ) විතරයි.

        26 වන දවසේ රුපියල් 3 35 544. 32 ක් ගෙවන්න බැංකු කරුවාට සිද්ධ වෙනවා. දැන් නම් මේ ඔට්ටුව නවත්තන්නත් බැංකු කරුවාට හිතෙනවා. ඒත් කොන්දේසි තියෙනවා. ඇරත් තව දවස් හතරයි. 

         27 වන දවසේ රුපියල්  6 71 088. 64
         28 වන දවසේ රුපියල් 13 42 177. 28

             දැන් ගේන ලක්ෂෙට වඩා ලොකු මුදලක් ඔට්ටු කරුවා අරන් යන බව බැංකුකරුවාට පේනවා. ඒත් මේ වන විටත් ලැබිච්චි රුපියල් ලක්ෂ 28 ට ආපසු ගෙවලා තියෙන්නේ රුපියල් 26 84 354. 55 යි. ඒ කියන්නේ ලක්ෂ 27 කටත් වඩා අඩුයි. තාමත් ඔට්ටුවෙන් පරාද නෑ... නැතත් තව දවස් දෙක නේ.

        ඒත් 29 වන දවස බිහිසුණුයි.
        ගේන ලක්ෂෙට එදා බැංකු කරුවාට රුපියල් 26 84 354. 56 ක් ගෙවන්න වෙනවා.

         30 වන දවසේදී ඔට්ටුව ඉවර වෙන්නේ බැංකු කරුවාත් ඉවර කරගෙන.
        සතෙන් පටන් ගත්ත දෙකේ බින්දුවේ බලේ බැංකු කරුවාව නැති කරනවා.

          ගෙවන්න වෙන මුදල රුපියල් පනස් තුන් ලක්ෂ හැට අට දාස් හත්සිය නවයයි ශත දොළහක්...! 
         ( 53 68 709 .12)

          ඒ අනුව දින 30 දී තමන් දීපු රුපියල් ලක්ෂ 30 වෙනුවෙන් ඔට්ටු කරුවා රුපියල් එක්කෝටි හත් ලක්ෂ තිස් හත් දාස් හාරසිය දහ අටයි ශත විසි තුනක් ( 1 07 37 418. 23) දිනා ගන්නවා. 

------------------------------------------------------------------

         පෙරල්මාන් මෙහෙම කියනවා. ‘‘ඔට්ටු කරුවා දවසකට ලක්ෂයක් නෙවෙයි, දවසකට ලක්ෂ තුනක් දෙනවා කියල කිව්වත් පරාද නෑ.“

          (රුසියාවේ කථාව රූබල් හා කොපෙක් වලිනි. කොපෙක් 100 ක් රූබල් 1 කි. 
           ලංකාවේ ශත 100 ක් රුපියල් 1 කි.)

(ඡායාරූප - අන්තර්ජ‍ාලයෙන්)

No comments:

Post a Comment