2015-11-04

පත්තිණි දේවාලය - නවගමුව

නාගස් ගොමුව තුළ පැරණී පත්තිණි දේවාලය
බෞද්ධ දේව මාතාවක ලෙස සලකන පත්තිණි දෙවියන් නමින් ශ්‍රී ලංකාව පුරා සෑම ස්ථානයකම පාහේ දේවාලග පිහිටා තිබුණත්, පත්තිණී මෑණියන්ගේ ප්‍ර‍ධාන දේවස්ථානය ලෙස සැලකෙන්නේ නවගමුවේ පත්තිණි දේවාලයයි. එය, කොළඹ අවිස්සාවේල්ල පැරණී මාර්ගයේ කැළණි ගං මිටියාවතේ පිහිටි නවගමුවේ ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරස්ථාන භූමිය තුළය.෴
පුරාණ ඉන්දියාවේ විසූ කන්නගිය නම් කාන්තාව සල්ලිකාර විසේකාර පාලග කුමරුන් සමඟ විවාහවී, ස්ත්‍රී ලෝලියෙකු වූ නිසාම දුප්පත් වී වේදනාවන් ඉවසාගනිමින් ජීවත් වන්නී, ස්වාමියාට ලැදිව පතිවෘත්තාව ආරක්ෂා කරගනිමින් සැමියාගේ ඕනෑ එපාකම් නොපිරිහෙලා ඉටුකරමින් වේදනාවන් දරමින් ජීවත් වූවාය. අවසානයේ මුදල් නැතිව සන්තාපයට පත්වී සිටි සැමියාට, පයේ රැඳුණු රන් සලඹ ගලවා එය විකුණා මුදල් ලබා ගන්නට දුන් නමුත්, වටිනා පා සළඹක් පඬි රට රජ බිසවගේ යැයි රාජ පුරුෂයන් අත්අඩංගුවට පත්ව, පඩි රජු අණ පරිදි මරණීය දණ්ඩනයට ලක්විය. මෙය දැනගත් කන්නගී තම සැමියා සොයා පඬි දේශයට ගොස්, තම පතිවෘත්තායේ ආනුභාවයෙන් පඬිරට විනාශවේවායි වම් පියයුරු කඩා අධිෂ්ඨාන කළාය. එයින් මුළු පඬි පුරයම ගිනිගෙන දැවුනත්, කුඩා ළමුන්, ගැබිනි මවුවරුන් හා සතුන් පමණක් නොදැවී ශේෂ විය. පසු කාලයේදී කන්නගී, පතිවෘත්තාව ආරක්ෂා කරනාවූ කාන්තාවන්ට සහ ගැබිනි මාතාවන්ටද, දරුවන්ටද, ලෙඩුන්ට ද පිහිට වෙමින් දක්ෂිණ භාරතයේ දෙවඟනක් බවට පත්වූවාය. 
 
ක්‍රි.ව. පළමුවන සියවසේ අනුරාධපුර යුගයේ රජකම් කළ වසභ රජුගෙන් පසු ලක්දිව රාජ්‍යත්වයට පත්වූ වංකනාසික තිස්ස රජුගේ කාලයේදී, චෝල දේශය පාලනය කළ කිංකාල නම් රජු ලක්දිව ආක්‍රමණය කොට දොළොස් දහසක තරුණ පිරිසක් ඉන්දියාවේ කාවේරී පටුන නම් ස්ථානයේ වේල්ලක් බැඳීම සඳහා මෙහෙකාර සේවය පිණිස පැහැරගෙන ගියේය. ඉන්පසු රජවූ ගජබාහු රජු, සොළීන් විසින් සිදු කරනු ලැබ තිබූ මේ අකටයුත්ත දැන, සිය සෙන්පති නීල මහා යෝධයා ද සමඟ ගොස් ඉන්දියාව ආක්‍රමණය කොට, ලංකාවෙන් රැගෙන ගිය ‍දොළොස් දහසද, ඉන්දියාවේ තවත් ‍දොළොස් දහසක්ද රැගෙන පැමිණිහ. මේ අවස්ථාවේ ඔවුන්, දක්ෂිණ භාරතිය වන්දනාවට ලක්වු පත්තිනි දෙවියන්ගේ මිණි සළඹද, වළගම්බා රජු සමයේ සොළීන් විසින් එරටට ගෙන ගොස් තිබූ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුවද රැගෙන ආහ.

සොළි රට ජය ගෙන රුවල් නැවකින් ලංකාවට පැමිණෙන අතර දරුණු කුණාටුවකට හසුවන ගජබා රජු ඇතුළු පිරිස එයින් බේරි කැලණි ගඟ ඔස්සේ ඉදිරියට පැමිණ රාත්‍රි කාලය නවගමුවේ ගත කරයි. කැලණි ගඟ අසල නා ගස් ගොමුවක ගලක් මත පුජාසනයක රන් සළඹ හා පාත්‍රා ධාතුව තැන්පත් කර ඇත. පසු දින අනුරාධපුරයට යාමට ඒ අසලට ගිය අවස්ථාවේ සුදු නාගයින් හත් දෙනෙකු සළඹ වට කර ගෙන සිටිනු දක්නට ලැබිම නිසා ගජබා රජතුමා ඒ පුජාසනය වට කොට නවගමුවේ දේවාලය තැනවු බව කියවේ. එතැන, නවගමුව පත්තිනි දේවිය වසර හතක් පුරා වැඩහිඳිමින් භාවනා කළ ගල්තලාවක් වූ බව ද සඳහන් වේ.

අතීතයේ සිට මෙහි බෞද්ධ විහාරස්ථානයක් තිබුණද, 1576 පෘතුගිසින් විසින් නවගමුවේ දේවාලය විනාශ කර යුධ කඳවුරක් ලෙස ටික කලක් පවත්වාගෙන ගොස් ඇති බවත්, දේවාලයත් සමග එම විහාරස්ථානය විනාශවු බවත් පෘතුගීසි වාර්තාවල සඳහන්වේ. නැවත එම විහාරස්ථානය හා දේවාලය යථා තත්වයට පත්කරවූයේ කටුවාවල සුමන තිස්ස හිමිපාණන් වහන්සේ විසිනි. අද ලංකාවේ ප්‍රධාන පත්තිනි දේවාලය වශයෙන් සැලකෙන නවගමුව සත් පත්තිනි දෙවොල, දිනපතා දහස් ගණනක් ජනතාවගේ වන්දනා මානයට පාත්‍ර වන ගෞරවනීය පූජා භූමියකි. 

නවගමුව සත්පත්තිණි දේවාලය පිහිටා ඇත්තේ කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා කැළණි ගං මිටියාවතේ පිහිටි නවගමුව සුගතබිම්බාරාම විහාරස්ථාන භූමිය තුළය. නමුත් සුගතබිම්බාරාම විහාරස්ථානටත් වඩා ශ්‍රී ලංකාව පුරා මේ ස්ථානය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ නවගමුව පත්තිනි දේවාලය ලෙසය. ලංකාවේ පන්සලක් තුළ දැකිය හැකි සැම අංගයක්ම නවගමුව දේවාල සංකිර්ණයේ දැකිය හැකිය



නවගමුව සුගතබිම්බාරාම විහාරස්ථාන භූමියේ සැලැස්මට අනුව කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. එනම් පන්සල, පත්තිනි දෙවියන් වෙනුවෙන් තැනු දේවාල හා අනෙකුත් දේවාල ලෙසයි. 
නවීකරණය වෙමින් පවතින චෙත්‍ය රාජයා
 
නව බෝධි ප්‍රාකාරය



පන්සල සියලු අංග වලින් සමන්විත ස්ථානයකි. ධර්ම ශාලා බණ මඩු විහාර ගෙය චෛත්‍යය බෝධිය ඉන් කැපී පෙනේ. බෝධි මලුව මෑතකදී මුළු මනින්ම නවීකරණය කරන ලදි. ඕනෑම දවසක බෝධි පූජා තැබීම ස‍ඳහා එන පිරිසෙන් බෝමලුව පිරී පවතී. බෝධී පූජා පැවැත්වීම සඳහා පැමිණෙන පිංවතුන් සඳහා විශේෂ පහසුකම් මෙහි සපයා ඇත. එසේම පහන් ගෙයද මේ වන විට නවිකරණය කර ඇති අතර, චෛත්‍ය රාජයාද මේවන විට නවීකරණය වෙමින් පවතී. 
නව පහන් ගෙය

පැරණි පත්තිනි දේවාලය තිබු තැන නිර්මාණය කරන ලද ඓතිහාසික පුරාණ පත්තිනි මහා පත්තිනි දේවාලය ද, අලුතින් නිර්මාණය කර ඇති ශ්‍රි පත්තිනි දේවාලයද වශයෙන්, දේවාල සංකිර්ණයේ පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද දේවාල දෙකකි. 

පසුව ඉදිකළා යැයි සැලකෙන පත්තිණි දේවාලය

 පත්තිනි දේවාලයට අමතරව දේවාල සංකිර්ණයේ බැතිමතුන් වන්දනා කරන දේව ධුරාවලියේ ප්‍රධාන තැනක සිටින දෙවිවරුන් වෙනුවෙන් තනන ලද කුඩා දේවාල කුටි ගණනාවක්වේ. එම දේවාල නම් ශ්‍රි විෂ්ණු දේවාලය, කතරගම දේවාලය, අළුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය, සමන් දේවාලය, ඊශ්වර දේවාලය, ගණ දේවාලය, ගම්බාර සුනියම් දේවාලය, මොරටුව දුනුමාන කඩවර කම්බිලි දේවාලය,ශ්‍රි ලක්ෂ්මි දේවාලය, කාලි කෝවිලයි. ඒ සෑම දේවාලයකටම විශේෂයෙන් කතරගම සහ ශ්‍රී විෂ්ණු දේවාල වලට බාරහාර ඔප්පු කිරීම සඳහා විශාල පිරිසක් පැමිණෙති.
 
විෂ්ණු කතරගම සමන් ආදී දේවාල

පොල්තෙල් පහන

මෙහි සියලු දේවාල වල පෝය දින හැරුණු විට සතියේ අනෙකුත් සෑම දිනකම පුජා වට්ටි පිදිම හා යාතිකා කිරීම් සිදු කරයි. පුජා වට්ටි පිදිම පත්තිනි දෙවියන්ට බැතිමතුන් විසින් කරනු ලබන උසස්ම පුජාවයි. බාදා - සෙනසුරාදා යන කෙම්මුර දිනවලට දේවාලයට බැතිමතුන් විශාල ලෙස පැමිණෙයි. නවගමුව දේවාලයේ දිනපතා තේවාව පෙරවරු 10ට පමණ ඓතිහාසික පුරාණ මහා පත්තිනි දේවාලයේ සිදු කරයි. 



නවගමුව පත්තිනි දේවාලයේ වර්ෂිකව ගම්මඩු පුජාව හා ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීමෙන් ආරම්භ කොට පිළිවෙළින් කුඹල් පෙරහැර, මල් පෙරහැර, පාවඩ පිට පෙරහැර,ගොන් පිට පෙරහැර, රන් දෝලි හා අලි පිට පෙරහැර සත් දිනක් නවගමුව ග්‍රාමයේ සංචාරය කරයි. ගොන් පිට පෙරහැර නවගමුව දේවාලයටම විශේෂ වුවකි.පෙරහැර අවසානයේ දිය කැපිමේ චාරිත්‍රයක් ඊට සත්දිනකට පසු ඇසළ උළෙලේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස ගිනි මඩු මංගල්‍යය පවත්වයි. පසු දින වස් දොස් දුරු කිරිම සඳහා ගරායක් නැටුමක් පවත්වයි. 







අදාල තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගෙන සකස් කරන ලදි.

No comments:

Post a Comment