2015-11-06

Sandathenna සඳතැන්න - නුවර එළිය


සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය 

වික්ටෝරියා උද්‍යානය, හක්ගල උද්‍යානය, ග්‍රෙගරි වැව, ලෝකාන්තය, ශාන්තිපුර ආදී නුවරඑළිය සංචාරක කලාපයේ නැරඹුම් ස්ථාන අතරට අලුතින්ම එකතු වූ ස්ථානය වන්නේ ස‍ඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපයයි. මෙය අංශක 360 නැරඹුම් ස්ථානයක් වන අතර, ලෝකාන්තයක් ලෙසින් ද සැලකිය හැකිය.

උස් ස්ථානයක සිට සම්පූර්ණ වටයක්ම අවට නැරඹීය හැකි ස්ථානයක් හ‍ඳුන්වන්නේ අංශක 360 නැරඹුම් ස්ථානයක් ලෙසය. (360 View point ) එවැනි අප දන්නා ස්ථානයක් නම් ලිප්ටන් සීට් (Lipton's Seat) නමින් හැඳින්වෙන ලෝක ප්‍රකට නැරඹුම් ස්ථානයයි. එය පිහිටා ඇත්තේ හපුතලේ සිට දඹේතැන්න පසු කර කිලෝ මීටර් 18 ක් පමණ ගිය විට හමුවන ලිප්ටන් තේ වත්තේයි. එය නිම්න තුනක් එක්වීමෙන් සෑදුණු මුහුදු මට්ටමේ සිට අඩි 6 450 ක් පමණ ඉහලින් පිහිටි උස් බිමකි.
ලිප්ටන්ස් සීට්

මෙවැනිම ස්ථානයක් නුවරඑළිය නගර ආසන්නයෙන්ද සොයාගෙන, පසුගිය 2014 මාර්තු මාසයේ 26 වෙනිදා සිට ජනතාව වෙත විවෘත කෙරිණි. මේ අනුව නුවරඑළිය වෙත පැමිණෙන සංචාරකයන්ට තවත් සුන්දර පරිසර පද්ධතියක් නැරඹීමේ අවස්ථාව උදාවී ඇත.

මෙය පිහිටා ඇත්තේ නුවරඑළියේ නගරයේ සිට වැලිමඩ පාරේ ග්‍රෙගරි වැව කෙළවර වන මහගස්තොටින්, වැව වටේ යන පාරේ මඳ දුරක් ගොස් දකුණට හැරී ( බොඹුරු ඇල්ල ජලාශයට යන පාර ) යන විට හමුවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය අසලින් නැවත දකුණට හැරී යන විට හමුවන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් "අල බීජ ගොවිපල" භූමිය තුලය. 
නැරඹුම් අට්ටාලයේ සිට

මුහුදු මට්ටමින් අඩි 7300 ක් පමණ ඉහළ බිමක් වන මෙම පරිසර කලාපය, මධ්‍යම කඳුපන්තියේ ඌව බෑවුමේ පිහිටි, පතන තණ බිමකි. මෙම ස්ථානයේ සිට හෝර්ටන්තැන්න වනෝද්‍යානයට සමාන පාරිසරික ලක්ෂණවලින් සැදුම්ලත් 3600 ක සම්පූර්ණ දර්ශන තලයක් නිරීක්ෂණය කළ හැකිය. කඳුකර පරිසරයේ දැකිය හැකි ගෝනුන්, කුළු මීහරකුන්, මුවන්, ඕලු මුවන්, වළස් වඳුරන්, වල් ඌරන්, මොනරුන්, වළි කුකුළන් රංචු පිටින් මෙහිදී දැක ගත හැකිය. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ වන කහ කන් කොණ්ඩයා,  ශ්‍රී ලංකා සිතෑසියා හෙවත් කඳුකර මල් කුරුල්ලා, ශ්‍රී ලංකා මයිල ගොයා, නිල් මැසිමරා හෙවත් කෝපි කුරුල්ලා , දෑ දෙමලිච්චා  වැනි මධ්‍යම කඳුකර වනාන්තර වලදී දැකිය හැකි ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ ද ආවේණීක උරග වර්ග රැසක්ද මෙහිදී  නිරීක්ෂණය කළ හැකිය. මෙන්ම කඳුකර පරිසර පද්ධතියට ආවේණික කුරුලු වර්ග රැසක් ද මෙහි සිට නැරඹිය හැකි අතර, පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල, කිකිළියමාන සහ නමුණුකුල ආදී ප්‍රධාන කඳුපන්තීන්ද, (සමනළ කඳු වැටිය වැසී ඇත.) වැලිමඩ සානුව, බදුල්ල, බණ්ඩාරවෙල ආදී ඌව ද්‍රෝණියේ මෙන්ම මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් පැහැදිලිව නිරීක්ෂණයටද අවස්ථාව හිමිවේ. 
බෝඹුරු ඇල්ල රක්ෂිතය

කදපොල රක්ෂිතය
හක්ගල
මෙම ස්ථානය ජනතාව අතර මෙතෙක් ප්‍රසිද්ධියට පත්වී නොතිබුණේත්, වසන්වී පැවතුනේත්, මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අල බීජ ගොවිපොල තුළ පිහිටි නිසාය. සඳතැන්න (Moon Planes) ලෙසින්  මේ පාරිසරික කලාපය මෙතෙක් ප්‍රසිද්ධ වී තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සීතා එළියේ බිජ අර්තාපල් ගොවිපළ ලෙසය. මෙම අර්තාපල් ගොවිපොළ ආරම්භ වී ඇත්තේ 1958 දී ය. හෙක්ටයාර් 155 ක් හෙවත් අක්කර 385 ක් පමණ විශාල මෙම ර්‍භමියෙන් කොටසක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වේ. භූමියේ උසම ස්ථානය අඩි 7 300 ක් පමණ වේ. එය හෝටන් තැන්නේ උසට සමාන වන අතර, සමනොළ මුදුනට මදක් අඩුය.
පිදුරුතලාගල මුදුන
ජනයාගෙන් සැගවී පැවති මෙම සඳතැන්න පාරිසරික කලාපය හඳුණාගත් නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතාගේ සංකල්පයක් අනුව, මෙම මුදුන ''සඳතැන්න කෘෂි පාරිසරික උද්‍යානය" ලෙසින් නම් කොට, සියලුම වටපිටාව දර්ශනය වන පරිදි සංචාරක දර්ශන මධ්‍යස්ථානයක් මෙන්ම මාර්ග පහසුකම් හා රථවාහන නවතා තැබිමේ ස්ථානද ඇතුළු සියලුම යටිතල පහසුකම් සංවර්ධනය කෙරිණි.

අනතුරුව එය දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කරනු ලැබුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් 2004 මාර්තු මස 26 වෙනිදාය. 
විවෘත කිරීමේ අවස්ථාව
මෙම ස්ථානය සතියේ දින හතේදීම දිනපතා පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා විවෘතව පවතී. නමුත් මෙම නැරඹුම් ස්ථානය පිහිටා ඇත්තේ ගොවිපල තුළ නිසා, සඳතැන්න නැරඹුම් ස්ථානයට යැමට සිදුවන්නේ නීති රීති පද්ධතියකට යටත්වය. 

ඈතින් හග්ගල

ගොවිපොළ පරිශ්‍රයට පිවිසීමට පෙර, දේශීය වැඩිහිටියන් සඳහා රුපියල් පනහකුත් දේශීය ළමුන් සහ පාසල් සිසුන් සඳහා රුපියල් විස්සක ගාස්තුවකුත් ගෙවා, ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුය. විදේශීය සංචාරකයෙකුගෙන් මේ සඳහා රු. 250 ක් අය කෙරේ. සඳතැන්න පාරිසරික කලාපය තුළ පා ගමනින් යාම හෝ පිටස්තර වාහනයකින් ගමන් කිරීම සපුරා තහනම්ය. ඒ මෙම පාරිසරික කලාපයේ ආරක්ෂාව සඳහා ගැනුණු විශේෂිත පියවරකි. ජාන තාක්ෂණය හා බීජ අල වගාවන් පවතින මෙම භූමියේ ආරක්ෂාව එයින් සහතික කෙරේ. ඒ සඳහා මෙම පාරිසරික කලාපයේ පිවිසුම් දොරටුව අසල නුවර එළිය ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන රියැදුරු මාර්ගෝපදේශකයන් ද සමග සෆාරි ජීප් රථ සේවයක් ක්‍රියාත්මකවේ. වැඩිහිටියන් අට දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි මෙම සෆාරී ජීප් රථයක පැය දෙකක පාරිසරික සංචාරයක් සඳහා අය කරන මුදල රුපියල් දෙදහසකි. පිවිසුමේ සිට මිනිත්තු 20 කින් නැරඹුම් ස්ථානයට ළගා විය හැකිය.






විශේෂ අවස්ථාවකදී හැරුණු කොට මේ සංචාරය අතරතුරදී වාහනයෙන් බිමට බැසීමට අවසර නැත. නමුත් පිදුරුතලාගල කඳු මුදුන ‘අත ‍පොවන මානයෙන්’ පෙනෙන සඳතැන්න මුදුනේ පිහිටි නැරඹුම් අට්ටාලය පාමුල දී නම්, ඔබට වාහනයෙන් බැස හිතේ හැටියට හාත්පස පරිසරය නිරීක්ෂණය කළ හැකිය. මේ පාරිසරික සහ කෘෂි සංචාරයේ උපරිම ප්‍රයෝජන ලබන්නට ඒ අවස්ථාව හොඳටම ප්‍රමාණවත්ය. එමෙන්ම මේ සංචාරයේ දී මත් පැන් සහ දුම්වැටි මුළුමනින්ම තහනම් වන අතර රේඩියෝ කැසට් සීඩී ප්‍ලේයර් සංගීත සහ ක්‍රීඩා භාණ්ඩ ද  මේ පරිසර සංචාරයට එක් කර ගැනීමටත් අවසර නොමැත.  එමෙන්ම ඉතා සංවේදී ආරක්ෂිත පාරිසරික පද්ධතියක් වන මෙහි කෑකෝ ගැසීම් වැනි අනවශ්‍ය ශබ්ද නැඟීම සහ ක්‍රීඩා කිරීම්වලටත් ඉඩක් නොමැත.



 

තවද, මේ පරිසර පද්ධතියෙන් සත්ව හා ශාක නිදර්ශක එකතු කිරීමත් රැගෙන ඒමත් සපුරා තහනම්ය. මේ සියල්ල මිනිසා ඇතුළු ජෛව ගෝලයේ  යහපැවැත්ම තකා විද්‍යාත්මක මිනුම් දඬු ඔස්සේ ගැනුණු පරිසර හිතකාමී තීරණ බැවින් පරිසර ලෝලී සංචාරකයකු වන ඔබ ඒවාට ඉත සිතින් එකඟ හා අවනත වන බව අපි විශ්වාස කරමු.


නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 12 ක පමණ දුරකින් පිහිටි මෙම පාරිසරික උද්‍යානයට සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා නුවරඑළිය නගරයේ සිටම සෆාරි ජීප් රථ සේවාවක් ආරම්භ කිරීමටද නුවරඑළිය මහ නගර සභාව සැලසුම් කොට තිබේ.
 

 
රංචු පිටින් සතුන්

ඈතින් පෙපෙන වැලිමඩ සානුව

මීපිලිමාන ප්‍රදේශය

බෝඹුරු ඇල්ල පුදේශය


අවට පෙනෙන ආකාරය - ග්‍රැපික් දර්ශනයක්

සංචාරකයින්


පිවිසුම් ස්ථානයේ දර්ශනයක්

අන්තර්ජාලයෙන් ලබාගත් දත්ත හා තොරතුරු මත සකස් කරන ලදි.
- ඡායාරූප අන්තර්ජාලයෙන් -
ස්තුතිය - ඉන්දුල ජයසේකර

No comments:

Post a Comment