2015-11-05

බෝධි පූජාව


බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධිය
බුදු රජාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූවාවූ ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේද, එයින් හටගත්තාවූ අනුරාධපුරයේ වැඩ හිඳින ශ්‍රී මහා බෝධීන් වහන්සේද සහ එයින් හටගත්තාවූ අෂ්ඨඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ප්‍ර‍මූඛව රට පුරා දහස් ගණන් බෝධීන් වහන්සේලා දෛනිකව නිරන්තරව ජනී ජනයාගෙන් පිදුම් ලබති.


වෘක්ෂ වන්දනයට ලෝකයේ දිගු ඉතිහාසයක්‌ ඇත. බුද්ධ කාලයට පෙර සිටම වෘක්‍ෂ වන්දනාව පැවතුණූ බවට සාධක ඇත. විවිධ අරමුණු බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා මෙසේ වෘක්‍ෂයන්ට වන්දනාමාන සිදුවිය. ඉන්දියාව පමණක්‌ නොව මිසරය, බැබිලෝනියාව (ඉරාකය), මෙසපොතේනියානු ශිෂ්ටාචාරය (ඉරානය) ආදී වෙනත් රටවලද වෘක්‍ෂ වන්දනාව පැවතිණි. බෝධි සත්ත්වයන් වහන්සේ බුද්ධත්වය සඳහා යන ගමනේදීද, සුජාතාව කිරිපිඬු පූජා පවත්වන්නේද වෘක්‍ෂ වන්දනාවට ගිය ගමනකදීය. වෘක්‍ෂයන්ට අධිගෘහිත දෙවි දේවතාවුන් ඇතැයි යන විශ්වාසයෙන් මෙම පූජා පවත්වා ඇත. ඇසතු, නුග, ඇටඹ, නා ආදී වෘක්‍ෂ වන්දනාවට පාත්‍ර වී ඇත. ඒවා පෙර බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වීමට උපකාර කරගත් වෘක්ෂයන්ය.
 
ජයසිරිමා බෝධීය - අනුරාධපුරය


ලෝකයේ පළමු බෝධි පූජාව ලෙස බුදුරජාණෙන් වහන්සේ කළ අනිමිස ලෝචන පූජාව සැලකිය හැකිය. බෝධි සත්ත්වයන් වහන්සේ ඇසතු බෝධි මූලයේ දී සියලු කෙළෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ. බුදු බව ලැබ දෙවන සතියේ දී තමන්ගේ බුද්ධත්වය සඳහා සෙවණ ලබාදී උපකාර කළ බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පුද පූජා පැවැත්වූහ. කළගුණ සැලකීම මෙන්ම බෝධි වන්දනාවට මුල් අඩිතාලම වැටෙන්නේද මෙයිනි. පසුව සැවැත්නුවර ආනන්ද බෝධිය රෝපණය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධීන් වහන්සේට පූජා පැවැත්වීම ආරම්භ විය. එය බුද්ධ නියමයෙන් සිදු වූවක්‌ බැවින් බුදුරජාණන් වහන්සේට කරන පූජාව බෝධීන් වහන්සේට සිදු කිරීමේ වරදක්‌ නැති බව පෙනේ. 

වෘක්ෂ, විශ්ව ශක්තිය සහිත විශේෂ කිරණ නිකුත් කරන බවත්, මිනිස් සිතුවිලි වලට ප්‍රතිචාර දක්වන බවත් ලෝකය පුරා විවිධ මතවාදීක් කළ විවිධ පරීක්ෂණ හමුවේ සනාථ වී ඇත. වෘක්ෂ වන්දනාවට විරුද්ධ අය පවා පිළිගන්නා සත්‍ය නම් පත්‍ර වලින් ගහන වෘක්ෂයක් අවට මනා වාතාශ්‍රයක් පවතින බවයි. ඒ අනුව පවා, එවැනි පරිසරයක භාවනාවේ යෙදෙමින් සිත පාලනයකට එළඹෙන් පුද්ගලයෙකුට, බෝධි වෘක්ෂයක් පාමුල සිත එකඟ කර ගැනීමටත්, ප්‍රඥාව වැඩීමටත් උපකාර වන ශක්තියක් ඇතැයි සර්වඥයන් වහන්සේ පෙන්වා දීම, විද්‍යාත්මකව සත්‍යයක් බවට සනාථ වේ. 

අෂ්ඨඵල බෝධියක් ලෙස සැලකෙන කතරගම බෝධිය
අප බුද්ධ පූජා තබන චෛත්‍ය තුනකි. ශාරීරික, පාරිභෝගික, උද්දේසික වශයෙනි. මෙයින් පාරිභෝගික චෛත්‍ය ගණයට බෝධීන් වහන්සේ අයත් වේ. එනිසා බෝධි පූජාව, බුද්ධ පූජාවක්‌ම විය යුතුය. ඒ අන්ව බලන කල බුද්ධ පූජාව, වෘක්ෂ වන්දනාවට වඩා එහා ගිය උතුම් පූජාවකි. තවද, දස පුණ්‍ය ක්‍රියා ගණයට අයත්වන දාන, ශීල, භාවනා, පත්තිදාන (පින්දීම), පත්නානුමෝදනා (පින් අනුමෝදන් වීම), වෙයවච්ච (වතාවත් කිරීම), අපචායන (පිදිය යුත්තන් පිදීම), දේශනා (ධර්මය කියාදීම), සුති (දහම් ශ්‍රවණය), දිට්‌ඨිජු (යහපත් දැකීම) යන පින්කම් රැසක්‌ බෝධි පූජාවක් අතරතුරදී සිදුවන බැවින් මනා අවබෝධයෙන් හා පිළිවෙත් ගරුකව බෝධි පූජා තැබීමෙන් මහත් ආනිශංස ලැබේ.

පෙර සසරේ කරන ලද කුසල් අකුසල් අනුව අපට බලපාන සියලු අපල දුරුකර ගැනීම සඳහා යොදාගත හැකි උසස්‌ම ශාන්තිකර්මයක් ලෙසද බෝධි පූජාව සඳහන් කළ හැකි අතර, සාමාන්‍ය ජීවිතයේ දියුණුව හා කායික මානසික සංහිඳියාව සඳහාද ඒ තුළින් විශාල සහනයක්‌ ලැබිය හැකිය. මෙකී බෝධි පූජාව නිවැරැදිව පවත්වන තරමට එහි ප්‍රතිඵලයන්ද ඉතා උසස්‌ වේ.

දෙතිස්ඵල බෝධියක් ලෙස සැලකෙන බෙල්ලන්විල බෝධිය
බෝධි පූජා ශාන්ති කර්මය තමා වෙනුවෙන් පමණක්‌ නොව වෙනත් අය වෙනුවෙන්ද සෙත් ප්‍රාර්ථනා කරමින් සිදුකළ හැකි එකකි. වෙනත් අයකු වෙනුවෙන් බෝධි පුජාවක් පවත්වන විට එය පවත්වනු ලබන ස්‌ථානය, දිනය, උදේ - සවස වශයෙන් කාලය පිළිබඳව එම තැනැත්තා දැනුවත් කිරීම තුළින් පවත්වනු ලබන බෝධිපූජාවේ ශක්‌තිය ඔහුට ග්‍රහණය කරගැනීම පහසුවේ. සාමාන්‍යයෙන් කෙම්මුර දින වල (බදාදා - සෙනසුරාදා) බෝධි පූජා පහුලව පැවැත්වේ. දින 3, දින 7 හා දින 21 ආදී වශයෙන් දීර්ඝ බෝධි පුජාද පවත්වනු ලැබේ. බෝධි පූජාව පවත්වන දින ගණන වැඩිවත්ම එයින් ලැබෙන ශාන්තියද ප්‍රබල වේ. සඳු නැගීමේ බැසීමේ කලාව අනුව බෝධි පූජාවක් පැවැත්විය යුත්තේ අමාවකත්- පසලොස්වකත් අතර කාලයේය. 
කැළණි විහාරයේ බෝධීන් වහන්සේ
 කවුරුන් කෙලෙස විග්‍රහ කළද ශ්‍රී ලංකාව පුරා ප්‍රමූඛ විහාර වලට මෙන්ම ගම්බද කුඩා පන්සල් වලටද, කෙම්මුර දිනවලදී මෙන්ම සෑම දිනකම පාහේ බෝධී පූජා පවත්වන්නට සැදැහැවතුන් නිරන්තරව ඇදී එයි. ඔවුන් බෝධීන් වහන්සේගෙන් පිහිට පතන අතර, තමන්ගේ අපල උපද්‍රව ලෙඩ දුක් ලෞකික ජීවිතයේ ගැටලු සඳහා පිහිටක් ලැබෙන බව තදින් විශ්වාස කරති.
කළුතර බෝධිය
සමහර දේව වන්දනා වල මෙන් නොව - කිසිවෙකුත්, බෝධි පූජාවකදී තමන්ගේ සෙත ශාන්තිය සැනසිල්ල අයදිනු විනා කිසිවෙක් අනුන්ට හානියක් විනාශයක් සාපයක් ප්‍රාර්ථනා නොකරත්. 

ශ්‍රී මහා බෝධියේ මෙන්ම සියලු බෝධීන් වහන්සේලා ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ, කළු දේවතා බණ්ඩාර දෙවියන්හට යැයි බෞද්ධයෝ විශ්වාස කරති.

නවගමුව බෝධිය
 
මාතර බෝධිය



 අන්තර්ජාලයේ තොරතුරු හා දත්ත පදනම් කරගනිමින් සකස් කරන ලදි. 
- ඡජයාරූප අන්තර්ජාලයෙන් -






No comments:

Post a Comment