2015-11-03

පත්තිණි මෑණියෝ

දෙවියන් විශ්වාස කරන සැම දෙනක්ම පාහේ පිංපෙත් පමුණුවන, ප්‍ර‍ාධාන දේවමාතාවක් සේ වන්දනා මාන කරන පත්තිණි මෑණියෝ, විශේෂයෙන් දරුවන්ගේ හා කාන්තාවන්ගේ දුකට පිහිටවන දේව මාතාවක් ලෙස ප්‍ර‍කටය. ශ්‍රී ලංකාව පුරා එතුමියගේ නමින් පත්තිණි දේවාල රාශියක් ඇති නමුදු, ප්‍ර‍ධාන පත්තිණි දේවාලය පිහිටා ඇත්තේ කඩුවෙල - නවගමුවේය.෴


"....... අවසර තෙදවරම් පස්වාන් දහසකට ආයුබෝවන්ඩ, කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම, සතර බුදුවරුන්ගේ ආඥාවට ආනුභාවට, අනුරාධපුර අටමස්ථානේ ආඥාවට ආනුභාවට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි, අලුත්නුවර, ඊශ්වර, මහේශ්වර, ගණේශ්වර, සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්ගේ ආඥාවට ආනුභාවට, සතරවරම් දෙවියන්ගේ ආඥාවට ආනුභාවට ඊසානා කන්දෙන්, මානෙල් මලෙන්, මවු කුසෙන්, පෙණ ගොබයෙන්, කදුරු පොත්තෙන්, සිඟා රැල්ලෙන්, නයි කඳුළෙන්, පිනි බිඳෙන්, සත් වාරයක් උපන්න බැවින් සත්පත්තිනි නමින්ද ‍දොළොස් වාරයක් උපන් බැවින් දෙළොස් පත්තිනි නමින්ද, තෙද ඇති ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්ස ඔබ වහන්සේ උරමාල පත්තිනි, වඳුරු පත්තිනි, ගිනි පත්තිනි, මල් පත්තිනි, අමරා පත්තිනි, සිද්ධ පත්තිනි, දේව මෑණියන් පිරිමි ආත්ම භාවයක් ප්‍රාර්ථනාවෙන් මේ නරලොව පුද පූජා උපහාරයන්ට ලක්වන වාර්ෂික ඇසළ මහා මංගල්‍යය බලාපොරොත්තුවෙන් වැඩ වසන ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්ස ඔබ මෑණියන් වහන්සේගේ පිහිටෙන් අපට ඇත්තා වූ ඇස්වහ, හෝවා, කටවහ, ග්‍රහ දෝෂ, භූමිගත සකල කරදර අනවින බන්ධන මාලාවන්, අඹු සැමි භේදයන් දින දින ව්‍යාප්ත වන්නා වූ අනවින බාධාවන් අටඅනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසීය තුනක් අන්ත්‍රාවලින් ආරක්ෂා කර එදා තොටියාගේ වර්ගයට හැට හතරක් වදුරු වසංගත බෝවන්න දුන්නා තිරසාරයි සත්‍යයි අද දක්වා මේ නරලොව ඇස් ලෙඩ, බඩේ රුජා, වදුරු වසංගත, පැපොල ආදී කොට ඇති රෝග, දේව ශාපයෙන් උපන් රෝග ඔබ මෑණියන් වහන්සේ සුවකිරීමට වරම් දෙනවා සත්‍යයි. එබැවින් මාහට වැලඳී ඇත්තා වූ සියලුම දේව ලෙඩ රෝග දූරින් භූතකොට මතු ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකට මේ සිතුම් පැතුම් වන්දනා භාර වී සියලු සිතුම් පැතුම් ඉටුවී නිරෝගී දිවියක් ගත කිරීමට හැකියාව ලැබෙත්වා...."

පුරාණ ඉන්දියාවේ විසූ කන්නගිය නම් කාන්තාව විවාහ වූයේ සල්ලිකාර විසේකාර පාලග කුමරුන් සමඟය. ස්ත්‍රී ලෝලියකු වූ නිසාම දුප්පත් වූ තම සැමියා අත්හරින්නත්, කන්නගියට සිතුණේම නැත. ඇය ස්වාමියාට ලැදිව පතිවෘත්තාව ආරක්ෂා කරගනිමින් සැමියාගේ ඕනෑ එපාකම් නොපිරිහෙලා ඉටුකරමින් සියලු වේදනාවන් ඉවසාගනිමින් විසුවාය. මුදල් නැතිව සන්තාපයට පත්වී සිටි සැමියාට, ඈ ඇගේ පයේ රැඳුණු රන් සලඹ ගලවා දුන්නේ එය විකුණා මුදල් ලබා ගැනීමටය. නමුත් වටිනා පා සඵඹක් අතැතිව එය විකුණන්නට යන පලග කුමරු හොරෙක් යැයි සිතා පඩි රටේ රාජ පුරුෂයන් අත්අඩංගුවට ගන්නේ පාලග කුමරු අත තිබූ රන් සලඹ රජ බිසවකගේ යැයි සිතාය. මේ අනුව පඩි රජු පාලග කුමරු මරන්න නියම කළේය. මෙය දැනගත් කන්නගී තම සැමියා සොයා පඬි දේශයට ගියාය. පඬි දේශයට යාමට ගගෙන් එගොඩ කිරීමට තොටියා ප්‍රතික්ෂේප කළාය. එයිට ඇය තම මුද්ද ගගට වීසි කොට අධිෂ්ඨාන කළාය, ගග දෙබෑවී ඒ හරහා ඇය පඬි රටට ගියාය. ඒ වනවිට පාලග කුමරු මරා දමා ඇති බව ඇයට දැනගන්නට ලැබිණී. ඇය තම වම් පියයුරුව කඩා දමා පඬි රජුට සාප කළාය. මුළු පඬි පුරයම ගිනිගෙන දැවිණි. කුඩා ළමුන්, ගැබිනි මවුවරුන් හා සතුන් පමණක් නොදැවී ශේෂ විය. ආපසු එන ගමනේදී තම මෙගොඩ නොකළ තොටියාටද ඈ ශාප කළාය. ඒ ඔහුගේ පරම්පරාවම ලෙද දුක් 64 කින් වෙලා ගන්නා ලෙසය. (පැපොල, සරම්ප දද කුෂඨ වැනි දෙයියන්ගේ ලෙඩ) ඒ කන්නගීගේ අධිෂ්ඨානයේ බලයෙන්ය. පසු කාලයේදී කන්නගී දක්ෂිණ භාරතයේ දෙවඟනක් බවට පත්වූවාය.

ඉපදුණු දවසේ ඉඳන් දරුවා පෝෂණය කරන්න අම්මා කෙනෙක්ට කිරි එරෙන්නේ කෙසේදැයි පහදන්නට විද්‍යාට බැරිය. ඒ ආකාරයෙන් මේ ලෝකයේ භෞතිකව ඔප්පු කරන්න බැරි බොහෝ දේ නැතැයි කිව නොහැකිය. තම දරුවාට සුදුසු සහකාරියක හෝ සහකරුවකු මුණ ගැසේවායි පතන්න මවුපියවරුන් පත්තිණි දෙවියන් වැඩ සිටින දේවාල වලට යති. හුරතලේට හිනාවෙන, රණ්ඩු කරලා කෑගහන, දඟකරන පුංචි දරුවෝ දැක්කාම රහසින් අඬන ගැහැණු, තමන්ටත් අම්මා කෙනෙක් වීමේ වරම් දෙන්නැයි පත්තිනි දෙවියන්ට බාර වෙති. දරුවන් කුස දරාගත් මව්වරුන් පත්තිනි දේවාලවලට පැමිණෙන්නේ දහස් ගණනිනි. දරුවන් ඇකයේ හොවාගත් අම්මලා දරුවා අපල උපද්‍රව වලින් ආරක්ෂා කර දෙන ඉල්ලා යාතිකා කරති. දරුවෝ ලෙඩ ඇඳේ දුක් විඳිද්දී එදෙස බලා සිටිය නොහී පත්තිනි දෙවියන් හමුවට පැමිණෙන මව්වරු පියවරු බොහෝය. ගිලන් වී රෝහල් යහන මත වැතිර සිටින තම දරුවාට නිරෝගී සුවය පතා වැඳ වැටෙන මවුපියවරුන් අනන්තය. විවාහයට කලින් පත්තිණි මෑණියන් ඉදිරිපිටට පැමිණ භාරහාර වන අයද විභාග සමත්වීමට පිහිට ඉල්ලන අයද රාශියකි. 

බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන අයුරින් පත්තිනි දේවිය බුද්ධාංකුර මාතාවකි. ඇය මතු බුදු බව උදෙසා පාරමී පුරන්නීය. පිනි බිඳුවෙන්, නුග පතින්, ගිනි කන්දෙන්, දෙමට මලෙන්, රන් අඹයෙන්, කදුරු පොත්තෙන්, දිය බුබුළෙන්, හෙණ සැරයෙන්, සිඟා රැල්ලෙන් පත්තිනි දෙවඟන අවතාර මවන බව කියැවෙයි. පත්තිනි මෑණියන් අඹෙන් උපන්නා යැයි සැලකෙන නිසා ඇයට තබන පූජා වට්ටියේ පලතුරු අතර අඹ ගෙඩි මඟ හැරෙන්නේ නැත. එසේම ගිනිගත් පඬි රාජ්‍යයේ බෙලි උයන් ද ඇගේ ශාපයට අසුවූ හෙයින් පත්තිනි පූජාවකට බෙලි පළතුර එකතු කරනු නොලැබේ. ඇය පුදන්නේ කහමල් වලිනි.

පත්තිනි දේවිය ශ්‍රි ලංකාවේ සිංහල බෞද්ධයන් මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුද පෙත් ලබන ප්‍රධානතම කාන්තා දේවතාවියයි. පත්තිනි දේවිය සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියකි. පත්තිනි දේවිය හින්දු සම්ප්‍රදායට අනුව පාර්වතියගේ අවතාරයයි. බුදු දහමේ බොහෝ සුත්‍ර වල දෙවියන් ගැන සඳහන්වේ. ලංකාවේ පවතින ජනශ්‍රැතියට අනුව පත්තිනි දේවිය බෞද්ධ වුවා පමණක් නොව පතිභක්තිය වැනි සාරධර්ම රැකගත් දේවතාවියද විය. පත්තිනි දෙවියන්ගේ ගුණ ගැයීම සිංහල ගැමියන් අතර මුල් බැස ගත් සිරිතකි."පත්තිනි හැල්ල" පොත නොකියවු, නො ඇසූ ඇසු සිංහලයෙක් නොවිය.

මහනුවර රාජධානිය අවසන් වන විට සිවු දේවාලයට පත්තිනි දේවාලයද අයත් වන අතර අද දක්වාම මහනුවර දළඳා පෙරහැරේ පත්තිනි දේවාලයේ පෙරහැර ද ගමන් කරයි. ලංකාව පුරා පත්තිනි දේවාල දකින්ට ලැබේ. ප්‍රධාන පත්තිනි දේවාලය පිහිටියේ කඩුවෙල, නවගමුවේ බව සාමාන්‍ය පිළිගැනීමය.

සිංහල ජනයාගේ කිරි අම්මාවරුන් පිළිබඳ විශ්වාසය පත්තිනි දේවිය හා සම්බන්ධවේ. අදත් කිරි අම්මාවරුන්ට දන් දෙන විට පත්තිනි දේවිය සිහි කරයි. පත්තිනි දෙවියෝ හත් වරක් උපන්නා යැයි සැලකෙන නිසා, පත්තිණි මෑණියන් වෙනුවෙන් තබන කිරිඅම්මාවරුන්ගේ දානයට කිරි අම්මාවරුන් 7 දෙනෙක් කැඳවෙයි. කැවිලි 7 ක් 7 බැගින් තැබෙයි. ග්‍රාමිය සමාජයේ අභිචාර විධි අතර පත්තිනි වන්දනාවට හිමි වනුයේ ප්‍රමුඛ ස්ථානයකි. බැතිමතුන් තම අභිමතාර්ථ සහ අපේක්ෂාවන් සාධනය කර ගැනිමට වැඩි විශ්වාසය පත්තිනි දෙවියන් වෙත තබා ඇත. උඩරට කාන්තාවන් විවාහ මංගල්‍යයේදි පළදින මාල හත පැළදිමේ සම්ප්‍රදාය පත්තිනි මාතාව ඇදහිල්ලෙන් පැමිනෙන්නට ඇතැයි සිතිය හැකිය. එතුමියද එවැනි මාල පැළද සිටියාය යන්න බෞද්ධයෝ විශ්වාස කරති.

No comments:

Post a Comment