2015-11-05

සේනක බිබිලේ



යුගයේ මිනිසා ගැන කතිකාවතක්....

හැමොම කථාකරන හැමෝම අගයන කවුද මේ සේනක බිබිලේ...?
මිනිසෙකුට වැළඳෙන රෝගයක් යනු, ජීවිතය සම්බන්ධ ගැටලුවකි. ඒ සඳහා නිසි ඖෂධය නොලද හොත්, ගෙවීමට සිදුවන්නේ ජීවිතයෙනි. නමුත් එකම ඖෂධය විවිධ නම් යටතේ විවෘත වෙළ පොළේ අලෙවි වෙයි. උදාහරණයක්‌ ලෙස රුධිරයේ කොලෙස්‌ටරෝල් පාලනය කිරීම සඳහා භාවිතා කරන ඖෂධ වර්ග හය වෙළෙඳනාම සිය ගණනකින් අලෙවි වේ. "පැරසිටමෝල්" ඖෂධය සඳහා වෙළෙඳ නාම 130 කට අධිකය. ඇමොක්‌සිලින් ඖෂධය සඳහා වෙළෙඳ නාම 70 ක්‌ පමණ වෙයි.

මෙම ඖෂධ අතර ඇත්තේ කිසිඳු ගුණාත්මක වෙනසක් නොවේ - මිලේ වෙනසක් පමණී. මිල තීරණය කරන්නේ ඖෂධ සමාගම් විසිනි. ලෝකයේ ලාභදායීම ව්‍යාපාරය අවි ආයුධ බව සැබෑය. නමුත් දෙවන ලාභදායීම ව්‍යාපාරය ඖෂධ යි.

එම ඖෂධ මාපියාවට එරෙහිව ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ සාදා එය ක්‍රියාවට නැඟීමට 1971 තරම් ඈතකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව සහ ඔසුහල නිර්මාණය කර, ඉන්ද නොනැවතී සිය පොදුජන සුබදායී ඖෂධ ප්‍රතිපත්තිය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලොව පුරා විසිරී අනෙකුත් දිළිඳු රටවලට ව්‍යාප්ත කිරීමට දිවි හිමියෙන් කැපවූ මහාචාර්ය බිබිලේගේ බලපෑම ඉක්‌මනින් අමතක කළ නොහැක්‌කකි.

වර්ෂ 1920 පෙබරවාරි 13  වෙනිදා, මොණරාගල විසූ 16 වන සියවසේ සිට  වලව් පැළැන්තියෙ "වැදගත්" පවුලක, වෙල්ලස්‌සේ සිටි රටේ මහත්තයෙක් වූ චාර්ල්ස් විලියම් බිබිලේ සහ සිල්වියා ජයවර්ධනයන යුවලට දාව  වැඩිමහල් පුතා විදිහට සේනක බිබිලේ උපත ලබනවා. සිය වලව්කාර පවුල් පසුබිම පරයා කුඩාකලම මතුවී එන්නේ සේනකගේ බුද්ධිමත් භාවයත් අසීමිත මානව දයාවත් වේ. සේනක මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව 1945 දී ඉන් පිටවන්නේ ප්‍රථම පංති සාමාර්ථයක්‌ සහ රන් පදක්‌කම් දෙකක්‌ද සමඟයි.

අසාමාන්‍ය බුද්ධි මහිමයකින් යුක්‌ත වෛද්‍යවරයෙකු වශයෙන් සිදුකළ පර්යේෂණ හා ඉදිරිපත් කළ විශිෂ්ට ශාස්ත්‍රීය පිලි නිසා වෛද්‍ය විද්‍යාවේ අග්‍රගණ්‍ය විශේෂඥයෙක්‌ ලෙස කීර්තියක්‌ ලබන බිබිලේ, 1952 දී මහා බ්‍රිතාන්‍යයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගෙන 1958 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් බිහිවූ ඖෂධවේදය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා බවට පත්වේ.

මෙකල මෙරට වලව් පැළැන්තියේ උගත් ළමුන්ව වෙළා ගන්නා ලද මාක්‌ස්‌වාදී දේශපාලන ප්‍රවණතාවයෙන් පිබිදෙන මහාචාර්ය බිබිලේ ශ්‍රී ලංකා සම සමාජ පක්‌ෂයේ වෛද්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ සොයා බලන ප්‍රමුඛතම විද්වතා බවට පත්වෙයි. ජාත්‍යන්තර ඖෂධ වෙළෙඳ සමාගම් වල නින්දිත මුහුණුවර පිළිබඳ මහාචාර්ය බිබිලේ සිය හඬ අවදි කිරීම අරඹන්නේ සිය වාමාංශික නැඹුරුව යෑයි ලේසියෙන්ම සිතිය හැකිය. 1971 දී පත්වූ සමගි පෙරමුණ ආණ්‌ඩුව මුල්වරට බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාවට නගයි. එකල පැවැති බහු ජාතික ඖෂධ සමාගම් ඉන් කෙතරම් කලබල වනවාද යත් වසර හයකට පසු සේනකගේ ව්‍යායාමය අඩපණ වනතෙක්‌ම ඔවුන් සිරිමා රජයට බලපෑම් කිරීමට උත්සුක වේ. නමුත් එම වසර හය තුළ සනිටුහන් වන්නේ ලොව දැවැන්තම ජාවාරමට එරෙහි තනි පුද්ගල සටනක සාඩම්බර, පුරෝගාමී මංසලකුණු යෑයි කීවොත් එහි වරදක්‌ නැත.
  “සාධාරණ මිලකට, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ඒවායේ වෙළෙඳ නාමයන්ගෙන් නොව, ඖෂධීය නාමයන්ගෙන් ලබාදීම“ බිබිලේ ප්‍රතිපත්තියේ මූලික හරය ලෙස සැලකිය හැකිය.
1971 මර්තු 23 දින දොස්‌තර වික්‍රමසිංහයන් සහ මහාචාර්ය සේනක බිබිලේ නව යෝජනා ඇතුළත් වාර්තාවක් අලුතින් පත්වූ සමගි පෙරමුණු රජයට ඉදිරිපත් කළහ.

1.   ලංකාවට අනවශ්‍ය බේත් වර්ග ගෙන්වීම නතර කිරීම.
2.   ඖෂධ සඳහා ඖෂධීය නාමය පමණක්‌ යෙදීම.
3.   ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම රජයට පවරා ගැනීම
4.   ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම.
5.  ඖෂධ පිළිබඳ දැනුම හා තොරතුරු වෛද්‍ය වෘත්තිකයන්ට සහ මහජනතාවට නිවැරැදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක්‌ බවට පත් කිරීම.
6.   ඖෂධ පිළිබඳ පේටන්ට්‌ නීති සංශෝධනය කිරීම.
7.   ඖෂධවල තත්ත්ව පාලනය සඳහා සූක්‍ෂම පරීක්‍ෂණාගාරයක්‌ ආරම්භ කිරීම.

මෙම යෝජනාවලට අනුකූලව, 1971 සැප්තැම්බර් 22 රාජ්‍ය ඖෂධ සංස්‌ථාව පිහිටුවන අතර, එහි සභාපතිවරයා ලෙස  මහාචාර්ය සේනක බිබිලේ පත්වෙයි. තමන්ට වෙන් කළ කාමරයක් මේසයට සීනුවක් හෝ නොමැතිව සේවකයන් සමග එක්ව හිඳ කිසිඳු වැටුපක් නොලබා, 1976 දෙසැම්බර් 28 දින ඖෂධ සංස්‌ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන තෙක්ම, සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදී බදාදා උදෑසනම කොළඹට පැමිණීයේද දුම්රියෙනි. ඔහු ඒ සඳහා තම නිල රථය භාවිත කළේ නැත. ඔහුට වෙන් වූ සංස්‌ථා නිල රථය සංස්‌ථාවේ හැම සේවකයෙක්‌ටම පොදු වාහනයක්‌ විය.

බහුජාතික සමාගම්වල ග්‍රහණයෙන් ඖෂධ ක්‍ෂේත්‍රය ගලවා ගැනීම ලෙහෙසි කටයුත්තක්‌ නොවන බව මහාචාර්ය බිබිලේ දැන සිටියේය. එහෙත් නොපසුබට වීර්යයකින් යුතු මහාචාර්යවරයා සිය පියවර පසුපසට ගත්තේ නැත. 1973 වර්ෂය වන විට ඖෂධ ආනයනය සම්පුර්ණයෙන්ම රජය සතුකර ගැනීමට ඖෂධ සංස්‌ථාවට හැකි විය. 

 මෙකල "වැලියම්" නමැති ඖෂධය බහු ජාතික සමාගම අලෙවි කළේ පෙත්තක්‌ ශත 92 බැගිනි. ටෙන්ඩර් කැඳවීමේදී එම සමාගම ම එම පෙත්තක්‌ ශත 57 කට දීමට ඉදිරිපත් විය. එහිදී ඉන්දියාවේ සමාගමක් මෙම පෙත්ත ලබා දුන්නේ ශත දෙකක්‌ වැනි අඩු මුදලකටය. සමාගම් ලැබූ ලාභය එයින් පැහැදිලි වේ.

එහෙත් බහුජාතික සමාගම් මෙම තත්ත්වය පරාජය කිරීමට දිගින් දිගටම විවිධ උපක්‍රම යෙදීය. 1973 මැයි මාසයේදී ඇමරිකානු ඖෂධ සමාගමේ සභාපතිගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා රජයට ලැබුණූ ලිපියකින් කියවුනේ ශ්‍රී ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය ඖෂධ නිෂ්පාදනයට ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍යට ද අහිතකර බව ය.
තමාගේ ඖෂධ ප්‍රතිපත්තිය ලොවපුරා ක්‍රියාත්මක කිරීම බිබිළේගේ අරමුණ විය. 1976 වර්ෂයේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී මහාචාර්ය බිබිලේ ශ්‍රී ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව කරුණු දැක්‌වීය. ඖෂධ සංස්‌ථාවෙන් ඉවත්වන ඔහු 1977 අප්‍රේල් 24 දින අන්ක්‌ටෑඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඖෂධ විශේෂඥයා ලෙස වැඩ බාරගත්තේය. අනතුරුව මැලේසියාව, ඇෆ්ගනිස්‌ථානය සහ නේපාලය යන රටවල් සඳහා වන ඖෂධ ප්‍රතිපත්තීන් සකස්‌ කළේය. මෙයින් බහුජාතික ජාවාරම්කරුවෝ මහාචාර්ය සේනක බිබිලේ කෙරෙහි වඩ වඩාත් කෝප වූවාට සැකයක් නැත.

1977 සැප්තැම්බර් 28 දින වන විට මහාචාර්ය බිබිලේ සිය ප්‍රිය බිරිඳ ලීලා බිබිලේ ද කැටුව ගයනා දූපතට පැමිණ සිටියේය. ඒ බටහිර ඉන්දීය දූපත්වල ජනතාව සඳහා ඖෂධ ප්‍රතිපත්තියක්‌ සැකසීමටය. එහෙත් 1977 සැප්තැම්බර් 29 දින උදෑසන ගයනාවේ රෝහලකදී මහාචාර්ය සේනක බිබිලේ දෙනෙත් පියා ගන්නේ, "අසාමාන්‍ය ආකාරයෙන්" හෘද රෝගයකට ගොදුරු වීමෙනි. එලෙසම" අසාමාන්‍ය ලෙස" රෝගය සඳහා නිසි ප්‍රතිකාර නොලැබූ රෝගියෙක්‌ වශයෙනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 57 කි.

මහාචාර්ය සේනක බිබිලේ පිළිබඳව "යුගයේ මිනිසා" නමින් අගනා කෘතියක්‌ කළ දෙනගම සිරිවර්ධනයන්, එහි පෙරවදනේ මෙසේ සඳහන් කරයි.

zzවරප්‍රසාද නොලත් වැඩ කරන ජනතාව පිළිබඳ වේදනාවෙන් ද ඔවුන්ට සාධාරණය ඉෂ්ඨ වන සමාජ ක්‍රමයක්‌ පිළිබඳ බලාපොරොත්තුවෙන් ද යුතුව සිය ජීවිතය මෙහෙය වූ මේ මානව හිතවාදියාගේ තොරතුරු සොයමින් ඔහු ඇසුරු කළ විවිධ පුද්ගලයන් හමුවූයෙමි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක්‌ සේනක පිළිබඳ කතාව කියා හමාර කළේ දෑසට නැගුණු කඳුළු සහිතවය. මහාචාර්ය සේනක බිබිලේ සදා සැමරෙනු ඇත. ඒ ලොව පුරා මානව හිතවාදීන්ගේ හදවත් තුළ ය.ZZ

- අන්තර්ජාලයේ පළවූ දත්ත හා තොරතුරු පදනම් කරගෙන සකසන ලදි -




No comments:

Post a Comment