2015-12-01

බෙල්ලන්විල රජ මහා විහාරය


   
ඉතා ඈත ඉතිහාසයකට උරුම කම් කියන බෙල්ලන්විල රජ මහා විහාරය, බස්නාහිර පළාතේ ඉතා ප්‍රසිද්ධ පුණය භූමියකි.  බෙල්ලන්විල පුද බිමේ බෝධි පූජාවක් පැවැත්වීමට බොහෝ දෙනා කැමතිය. එහි ඇති බෝධිය, අනුරාධපුර ජය හ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු දෙතිස් මහා බෝධීන් ගෙන් එකකි. මේ නිසා මහත් ඵල ආනිශංස පවතින බවටද, මහා හාස්කම් ඇති බවටද බෞද්ධයෝ විශ්වාස කරති. දිනපතාම මෙහි ඇදී එන උපාසක උපාසිකාවන් දහස් ගණනකි. සති අන්ත හා නිවාඩු දිනවල මෙන්ම බෝධි පූජා පැවැත්වීම සඳහා විශේෂයෙන් බදාදා සෙනසුරාදා පැමිණෙන පිරිස අති විශාලය. පසලොස්වක පෝය දිනට පෙර එළඹෙන ආසන්නතම බදාදා හෝ සෙනසුරාදා දවසේ බෝධි පූජාවක් පැවැත්වීම අරමුණු කොට ගෙන, අලුයම හිරු නැගීමට පෙර සිටම ජනතාව බෙල්ලන්විලට ඇදී එති. එය අද බෙල්ලන්විලට ආවේණික පූජාවක් බවට පත්වී තිබේ. ෴



  
ඓතිහාසික බෙල්ලන්විල රජ මහා විහාරය

බෙල්ලන්විල රාජ මහා විහාරය පිහිටා ඇත්තේ කොළඹ නගර සීමාවෙන් මදක් ඈතින් ඇති මහරගම - දෙහිවල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර තනක් පමණ දුරින් පිහිටි බෙල්ලන්විල ග්‍රාමයෙහිය. බෙල්ලන්විල ග්‍රාමය පිහිටා ඇත්තේ බොරලැස්ගමුව නගරය සමීපයෙහිය. විහාරය අත්තිඩිය කුරුළු අභය භූමියට යාබදව පිහිටියේය. අද ඒ අවට ඇවිදින මංතීරු වලින් සැකසුනු දර්ශනීය පරිසරයකි.

ලංකාවේ වෙහෙර විහාර අතරින් බෙල්ලන්විල රජමහා විහාරය ප‍්‍රධාන පූජනීය ස්ථානයකි. ඓතිහාසික සිද්ධීන් සලකන විට බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පෞරාණිකත්වය දේවානම් පියතිස්ස රාජ්‍ය කාලය දක්වා දිවයයි. දෙවනපෑතිස් රජු සමයේ අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලද, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවෙන් පැන නැඟුණු දෙතිස් මහා බෝධීන් වහන්සේ අතුරෙන් එක් බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල පුද බිමෙහි රෝපණය කළ බව, සිංහල බෝධිවංශයේ සඳහන් වේ. මේ අනුව බෙල්ලන්විල විහාරයේ රෝපණය කර ඇත්තේ අනුරාධපුර මහ මෙවුනා උයනෙහි රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල රුහ බෝධීන්ගෙන් එකකි. මේ නිසා බෙල්ලන්විල විහාරය අනෙක් සකලවිධ සුවිශේෂතා සමග, එහි ඇති බෝධීන් වහන්සේගේ පූජනීයත්වය නිසාම පරසිඳු වේ.  


බෝධි රෝපනයේ පටන්ම බෞද්ධ ජනතාවගේ විශේෂයෙන් නිරිත දිග ශ්‍රී ලංකාවේ ගෞරවයට පූජ්‍යත්වයට පත්වූ බෙල්ලන්විල විහාරයට, රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුණී. නමුත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙහි පැවැති ශ්‍රී විභූතිය, පෘතුගීසීන් විසින් විනාශ කිරීම නිසා බෙල්ලන්විල විහාරය ඇතුළු මුළු ප්‍රදේශයම වනගත පෙදෙසක් බවට පත්විය. සියවස් දෙකක පමණ කාලයක් බෙල්ලන්විල වනගතව ජනශූන්‍යව පැවැති බව ඉතිහාසයෙහි සඳහන් වේ. අත්තිඩිය වගුර සහ වනාන්තරය විසින් සියල්ල ගිල ගැණුනි.

විදේශිකයින්ගේ ආක්‍රමණයන්ට ගොදුරුව අඳුරු කාලපරිච්ඡේදයක පැවැති බෙල්ලන්විල 1850 වර්ෂයේ දී නැවත සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ තේන්ගොඩගෙදර හිමිපාණන්ටය. ලන්දේසීන් අප රට පාලනය කරන අවදියේ ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත්තේ බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානය අසළින් වැටී ඇති කටු ඇළයි. අදත් දක්නට ඇති මෙම කටු ඇළ හරහා කළුතර සිට කොළඹ දක්වා ඔරු පාරු උපයෝගි කරගනිමින් ගමන් ගත් බව සඳහන් වේ. මේ කාලයේ තේන්ගොඩගෙදර හිමිපාණන් වහන්සේ තොටියෙකුත් සමඟ පැපිලියාන දෙසට ඔරුවකින් ගමන් කරමින් සිටියදී වනපෙතින් හේවිසි හඬක් ඇසී විශ්මයට පත්වුහ. උන්වහන්සේ තොටියාද කැටුව ඔරුවෙන් බැස හේවිසි නාදය ඔස්සේ වනය පීරමින් ඉදිරියට ගමන් කරද්දී දර්ශනය වූයේ බෙල්ලන්විල ඓතිහාසික බෝ සමිඳුන් ය. බෙල්ලන්විල බෝ සමිඳුන්ට අධිගෘහිත බලසම්පන්න දෙවියකු සිටින බවත්, බෝ සමිඳු වනගතව සිටින සමයේ දෙවි දේවතාවුන් මෙම බෝධීන් වහන්සේට පුද පූජා පවත්වා ඇති බවත්, තේන්ගොඩගෙදර හිමිපාණන්ට ඇසුණු බෙර හඬ දෙවියන් විසින් පවත්වන ලද්දක් බවත් ජනප්‍රවාදයේ කියැවේ.

බෙල්ලන්විල රාජමහා වෙහෙරට නැගෙනහිර දෙසින් පිහිටි වෙල්යාය මැද බෙල්ලන් සිටි විලක් පැවැති හෙයින් මෙම විල අයත් ග්‍රාමයට බෙල්ලන්විල යන නාමය පටබැඳි බව පැරැන්නන්ගේ මතයයි. බෙලිවනය, කුඹුරුයාය නිසා බෙල්ලන්විලනාමය ඇතිවී යයි ද තවත් මතයකි.

තේන්ගොඩගෙදර හිමිපාණන් බෙල්ලන්විල පුදබිම සොයාගැනීමෙන් පසු එහි විහාරාධිපති ධූරය දැරූ අතර, ගම්මුන් කැඳවා විහාරස්ථානයක් ලෙස සකසන්නට යෙදිණි. ඉන්පසු විවිධ විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ බෙල්ලන්විල විහාරය යළි ගොඩනංවන ලදි.




වර්ෂ 1946 දී බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් ස්ථානයේ විහාරාධීපති ධූරයට පත් වීමෙන් පසුව, බෙල්ලන්විල විහාරයේ නූතන ස්වර්ණමය යුගය එළඹෙයි.  උන්වහන්සේ බෙල්ලන්විල ග්‍රාමයේ විහාරස්ථානයන් අතර සබඳතාවය ගොඩනඟමින් විහාරස්ථානයේ දියුණුවට සුවිශේෂ මෙහෙවරක් සිදුකරන්නට සමත් වූහ. පොළොන්නරු ජේතවනාරාමයේ අනුරුවක් අනුව ගොඩනැඟුන විහාර මන්දිරයත්, දෙමහල් ධර්ම ශාලාව, දේව මන්දිරය, සංඝාවාසය, සීමා මාලකය, ධාතු මන්දිරය, විහාරස්ථානයට ඇතුල්වන විශාල මකර තොරණ ආදිය ඉදි කරමින් බෙල්ලන්විල රාජ මහා විහාරය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළේ සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. ත්‍රිවිධ රත්නයේත්, දෙවියන්ගේත්, ආශිර්වාදය ප්‍රදේශවාසීන්ට ලබාදීමේ අරමුණෙන් උන්වහන්සේ 1950 වසරේ දී ආරම්භ කරන ලද ඇසළ පෙරහර උඩරට පහතරට නැටුම් සහ අලි ඇතුන්ගෙන් සමන්විතව අති උත්කර්ෂවත් අන්දමින් සෑම වසරකම පැවැත්වෙයි. 


බෙල්ලන්විල රජ මහා විහාරයේ ගොඩනැගිලි අංග අතර ප‍්‍රතිමාඝරය, ස්තූපය, දේවාල මන්දිරය, ධාතු මන්දිරය, කැපී පෙනෙන විහාරංග ලෙස සැලකේ.මෙහි ප‍්‍රතිමාඝරයේ ඉදිකිරීම් 1948 දී සිදුවූ අතර නව ප‍්‍රතිමාඝරයට පෙර බුද්ධ ප‍්‍රතිමාව තැන්පත් කරවූයේ කුඩා ගොඩනැගිල්ලක් තුළය. පසුව පොළොන්නරුවේ ජේතවනාරාම ගොඩනැගිල්ලේ සැලැස්ම සිහිපත් වන පරිදි මෙහි නිර්මාණය කෙරිණ. ප‍්‍රතිමාඝරය නොයෙකුත් කැටයම් අංගයන්ගෙන් අලංකාර කර ඇති අතර ඒවා මගින් පොළොන්නරු යුගයේ කැටයම් කලාව සිහිපත් වේ. හස්ති රූප, හංස රූප, භෛරව රූප, මුරගල, සඳකඩ පහණ යන හැම අංගයක්ම පෙර රජ දවස ආභාෂය කොට ඉදිකර ඇත. ගෘහය ඇතුළත, අනුරාධපුර යුගයේ අවුකන බුදුපිළිම ආකෘතියට අනුව නිර්මාණය කොට ඇති දහඅට රියන් උසැති බුදු පිළිමයකි. දෙපස ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේද ඉතාමත් සංයමයෙන් මනා අංග ලක්‍ෂණයන් මතු කරලමින් කළ විශිෂ්ට නිර්මාණයන් ලෙස නෙත් පහන් කරවයි. මෙම පිළිමයට පිටුපසට වන්නට අඩි 27 කින් යුත් පිරිනිවන් මංචකය ඉදිකර ඇති අතර එය පොළොන්නරු යුගයේ ගල් විහාරයේ පිරිනිවන් මංචකයේ පිළිරුව ආකාරයට නිර්මාණය කර ඇත. 


බෙල්ලන්විල රජමහා විහාරයේ ස්තූපය ඝන්ඨාකාර හැඩයෙන් යුක්තය. එය අටපට්ටම් වේදිකාවක් මත පිහිටා තිබෙන ස්තූපය පේසා වළලු 3 න් ද , ගර්භයෙන්ද , හතරැස් කොටුවෙන්ද, දේවතා කොටුවෙන් ද කොත් කැරැල්ලෙන්ද කොතින්ද, සිළුමිණෙන්ද යුක්තය. මේවාට අමතරව වැලිමළුව , වාහල්කඩ, චිත‍්‍ර හා කුළුණු යන උපාංගද බෙල්ලන්විල රජමහා විහාරය සතුව ඇත. දේව මන්දිරය ඉදිකොට ඇත්තේ පොළොන්නරු යුගයේ කලාංග උපයෝගී කොට ගෙනයි.

ඒ ඒ දෙවියන් වෙනුවෙන් වෙන් වුණු දේව කුටි වලින් සමන්විත දේව මන්දිරය තුළ බෙල්ලන්විල විහාරයේ ආරම්භක අවදියේ තිබූ කුඩා විහාර ගෙයද වේ. මෙම කුඩා විහාර ගෙය වටකොට දේව මන්දිරය ඉදිකොට ඇත. ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි, ශ්‍රී සමන් යන හතර මහා දේවාල ඇතුළු දේවාල දහයක් විහාරය තුල පවතියි.

බෝධි වෘක්ෂය උස්වූ මළුවක රෝපණය කර ඇත. බෝධි වෘක්ෂය වටා රන් වැටකින් වට කොට ඇත. බෝධිය වටා ප‍්‍රාකාරය ඉතා විසිතුරු කැටයමින් අලංකාරවත්ව නිමවා ඇත. බෙල්ලන්විල රජමහා විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පයට විශේෂ ස්ථානයක් හිමිවන අතර ධාතු මන්දිරය සහිත සීමා මාලකයත් , සංඝාවාසයත් , දෙමහල් ධර්ම ශාලාවත්, ගන්ඨා කුළුණත්, යනාදී අංගද ඇතුළත්වේ. මේවා මගින් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන අතර බෙල්ලන්විල රජමහා විහාරයේ ඵෙතිහාසික පෞඪත්වය ද ඉස්මතු වේ.

බෙල්ලන්විල කියූ පමණින් ගම මතක් නොවේ. මෙනෙහි වන්නේ විහාරස්ථානය ය, චිත්‍රයක් සේ සිත දිගට ඇදී එන්නේ බෙල්ලන්විල මහ පෙරහර අසිරියය. ඒ තරමට බෙල්ලන්විල බොදු දන හද බැඳි උප සංස්කෘතියක් උත්පාදනය කර තිබෙයි. බෙල්ලන්විල විහාරය ලාංකේය බෞද්ධ සංස්කෘතික උරුමයේ නව ලකුණක් නිර්මාණය කිරීමට සමත් වී සිටියි. බෙල්ලන්විල බෝධීන් වහන්සේ සතුව මහා බලයත් ඇතැයි බොහෝ බැතිමතුන් අතර පවතින්නේ දැඩි විශ්වාසයකි. විශේෂයෙන් ගර්භනී මව්වරු ආපදා උපද්‍රව සහිත බැතිමත්හු සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ලංකාවේ සතරදිග් භාගයෙන්ම බෝධි පූජා පැවැත්වීමට මෙම ස්ථානයට පැමිණෙති. ඒ තරමට බෙල්ලන්විල මහ බෝ සමිඳුන් වටා ගොනු වී ඇති පුරාවෘත්තය බලවත් ය. 

 
වර්තමාන විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලයේ නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථානයේ සේවාවන් නොපිරිහෙලා පවත්වාගෙන යාමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් ආගමික සේවාවන්ට අමතරව ප්‍රජා සේවාවන් රැසක් ද ක්‍රියාත්මක කරනු ලබයි. සිසුන් 2500 අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසලත්, පාසල් හැර ගිය සිසුන්ට වෘත්තිය පුහුණුවත් ලබාදී, රැකියාවන් සඳහා යොමු කරන ප්‍රජා සංවර්ධන පදනමත්, වැඩිහිටියන් සඳහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානයත්, මසකට වරක් පැවැත්වෙන වෛද්‍ය සායනය, ලේ දන්දීමේ කඳවුර, තෙමසකට වරක් පැවැත්වෙන විශේෂඥ වෛද්‍ය සායනය, නොමිලයේ ඇස් පරීක්‍ෂා කර ප්‍රතිකාර සහ ඇස් කණ්ණාඩි ලබාදීමත් හෘද සැත්කම් ආදිය සඳහා වෛද්‍යාධාර ලබාදීමත්, නිවාස නොමැති අයට නිවාස සාදා දීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ හැකිය.



63 වසරකට වැඩි අත්දැකීම් සහ මහනුවර ඇසළ පෙරහරේ ලක්‍ෂණ ගුරුකොට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය අගනුවර තදාසන්න පෙරහර අතුරෙන් අග්‍ර ස්ථානයක් හිමිකරගන්නේ ඉන් පිළිබිඹු වන සාම්ප්‍රදායික සංස්කෘතික අංග නිසා බව සඳහන් කළ හැකි ය. 64 වන ඇසල මහා පෙරහැර මෙවරත් 2015 අගෝස්තු මස 14 දින සිට 31 වෙනිදා දක්වා සාර්ථකව පවත්වන ලදි.

අන්තර්ජාලයේ දත්ත හා තොරතුරු පදනම් කරගෙන සකස් කරන ලදි.
(ඡායාරූප අන්තර්ජාලයෙන්)







No comments:

Post a Comment